“ඔහු”

Share

ජීවිතයේ තමන් මුහුණ දෙන සිදුවීම් කෙනෙක් තමන්ට වචන වලට පෙරළන්න කිව්වොත් ඒ දැනුන හැඟීම සමහර වෙලාවට වචන වලට හරවන්න හරිම අමාරුයි.

ඇත්තම කිව්වොත් ඒ වෙලාවට දැනෙන්නේ හරිම හිස්තැනක් වගේ. හිතේ දහසක් දේවල් හිර වෙලා තිබුනත් ඒ එකම එක සිතුවිල්ලක්වත් ලෝකයට කියන්න මම ගාව වචන නෑ.

අහම්බයක්, හැබැයි අහම්බයක්මත් නෙමෙයි. මේක අහම්බයකින් පටන් අරගෙන යාලුකමක් වෙලා ඒ යාලුකම අතරෙදි ම නොදැනීම අවර්ණ ලෝකයක් වෛවර්ණ වුන කතාවක්. ලෝකයේ සුලභ ම අහම්බය.

මේ අහම්බකාරකයට හේතු වුන ඔහු දවසක මගෙන් අහනවා දවසකට වචන ලක්ශයකටත් වඩා කතා කරන මාව නිහඬ කරවන ප්‍රශ්නයක්. “ඔයාට මාව හමු වීම දැනෙන්නේ කොහොම ද?”

හරිම ලේසි ප්‍රශ්නයක් මේක කියවන හැමෝටම හිතෙයි එහෙම. ඒත් ඒ වෙලාවේ මට කියාගන්න පුලුවන් වුන එකම දේ, “මම උත්තරයක් දෙන්නම් ඒත් ඒක දැන් නම් කියන්න මට තේරෙන්නෙ නෑනෙ” කියල ම විතරයි.

මේ ප්‍රශ්නයට මට දෙන්න උත්තර දාහක් විතර තියෙනවා. ඒත් ඒ එකක්වත් වචන කරන්න මම දන්නේ නෑ. සින්දුවක්, ඔව් එකම විසදුම සින්දුවක්. හැබැයි මේ එකම එක සින්දුවක්වත් මගෙ හැඟීම ඔහුට කියන්නේ නෑනෙ.

ඊළඟට ආව සතිය මගෙ කැම්පස් යාලුවන්ට හරිම දුශ්කර සතියක්. මොකද හැමෝටම වුනේ මගේ වදෙන් බේරෙන්න මට එයාට කියන්න පුලුවන් සින්දුවක් හොයන්න. හැබැයි මේ සින්දුවත් අපිට මතක් වුනේම ඔහු වගේම අහම්බකාරකයකින්. මුලින්ම මතක් වුනෙත් අපිට අවසාන පද කිහිපය.

“සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදී කතරේ
ඔබ සිහිල් දොළක්‌ සේ පාවී
වසන්තයක්‌ වී ආවේ…”

මේක තමයි හරිම සින්දුව, මට එහෙම හිතුනෙම ඒ වචන කිහිපය දැක්ක ගමන් මට ඔහුව මතක් උන නිසාම යි.

ආදරය කියන්නෙම අපි හැමෝටම අපේ ජීවිතයේ ඕනෙ වෙන දෙයක්. දෙයක් කිව්වට හැඟීමක්. අපි හැමෝම ආසයි මේ ආදරය විදින්න.

හැබැයි ජීවිතයෙන් හෙම්බත් ඉන්න වෙලාවක, ආදරය කියන දේ අවර්ණයි කියලා හිතන් ඉන්න වෙලාවක, අපිට ආදරය මුණ ගැහුනොත් අහම්බකාරයක් ළඟ, හිතටත් නොදැනීම අපිත් නවතිනවා මේ වෛවර්ණ හිත ළඟ.

හැබයි තව දුරටත් ඔහු අහම්බකාරකයක් නම් නෙමෙයි.අවර්ණ ආදරයක් පාට කරපු, ” ඔහු”.

ජීවිතය කියන කටුක කාන්තාරයක ආදරය කියන වචනය මිරිඟුවක්ම විතරක් වෙලා තියෙන වෙලාවක, මේ මිරිඟුවක් නෙමෙයි යථාර්තයක් කියලා කියනවා වෙනුවට ඒ දේ හැඟීමක් කරපු “ඔහු”

“මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා
බිඟුරැව් නැඟෙනා
මේ ප්‍රථම වසන්තයයි…”

වසන්තය, දවස් 365කින් ලස්සනම දවස් කිහිපය. කාලෙකට විතරක් පිපෙන මල් පිපෙන කාලය. ජීවිතයත් හරියට අවුරුද්දක් වගේ. දරා ගන්න බැරි සීතල ප්‍රශ්න පිරුණ කාල, මල් පිපිලා ලස්සන වෙන ජීවිතය විදින වසන්ත කාල, දිග ම දිග දවස් තියෙන ග්‍රීස්ම කාලය වගේ ප්‍රශ්න තිබ්බත් ජීවිතය විදින්න පුලුවන් කාල වලින් අපේ ජීවිතය පිරිලා.

මගේ ජීවිතය, ඔව් අනිත් අය වගේම අතිශය සාමන්‍ය, ඔහේ ගලාගෙන යන ගඟක් වගේ ජීවිතය. හැබැයි අතිශය සාමන්‍ය මේ ජීවිතය, එක යායට ඉරත් එක්ක පිබිදෙන මධු මල්, මේ මධු මල් වටේ රොන් ගන්න බිඟුන් ඉන්න වසන්තයක් කළේ  “ඔහු”.

වසන්තයක්, නැහැ එක වසන්තයක් නෙමේ ප්‍රථම වසන්තය. සුන්දරම ආදරණීයම ප්‍රථම වසන්තය.

“තරු නැඟෙන තුරා නිදිබර අඹරේ
සඳු නැඟෙන තුරා සිටියදි අඳුරේ
ඔබ සුපුන් සඳක්‌ සේ පායා
පහන් රැයක්‌ වී ආවේ…”

අපි හැමෝම හරිම අමුතුයි.ගොඩක් වෙලාවට හැමෝම වගේ කරන්නෙ මුල පිටුවෙන් පොතක් කියවනවා වගේ, අපි දිහා බලාගෙන අපිව මනින එක. හැබැයි දවසක් එනවා කවුරු හරි මේ පොතේ පිටු කියවලා පොතම තේරුම් ගන්න. මට දැනෙන විදිහටනම් මේ අමුතු පොත කියවන්න පුලුවන් එකම එක පාරක් විතරයි ඒත් එකම එක්කෙනෙක් විතරයි.

කෙනෙක් අපිව තේරුම් ගන්නකන් අපි හැමෝම බලන් ඉන්නවා. නිදිබර අහසේ තරුවක් පායලා, ඒ නිදිබර අඳුර නැති කරන්න සඳක් පායනකන් කලුවර දවසකට අහස බලන කෙනෙක් බලන් ඉන්නවා වගේ. ඉතින් ඒ බලන් ඉන්න වේලාවක සුපුන් සඳක් පායනව නම්, අඳුර මැකෙනවා විතරක්ම නෙමේ, හරි ලස්සන සෞම්‍ය එළියකුත් ලැබෙනවා.

හරියට අර පොත තේරුම් ගන්නවා විතරක්ම නෙමේ, ඊළඟ පරිච්ඡේදය ලියන්න අත් පොත් තියනවා වගේ.  “ඔහු” හරියට ඒ සුපුන් සඳ වගේ.

මුලින් තියෙන ප්‍රශ්නෙට උත්තරේ මේ ලියලා තියෙන දේවල් ද කියල කවුරු හරි මගෙන් ඇහුවොත්, නෑ මේ උත්තරෙන් දාහෙන් එකක් විතරයි. ඒ මගේ හැඟීම විතරක් ම නෙමෙයි. අතීතයේ, වර්තමානයේ වගේම අනාගතයෙත් “ඔහු” ගේ මේ ප්‍රශ්නෙට උත්තර සොයන  සියලු “ඇය” වචන කරන්නට උත්සාහ කරන හැඟීම.

කුලරත්න ආරියවන්ශයන්ගේ පද රචනයට, රෝහණ වීරසින්හයන්ගේ ගී තනුවත්, මහාචර්ය සනත් නන්දසිරියන්ගේ හඬ මුසුවත්, සියලු “ඇය” හට “ඔහු” සිහිගන්වන භාවනක්ම බව නම් නො අනුමානය.

 

Image Courtesy: https://bit.ly/3PIPhZA

 
Tagged : / /