අනේ කොතැනද වැදුණෙ වස්

Share

සිංහල සාහිත්‍යය කියන්නෙ හරියට රස වින්දන පිපාසාවෙන් ඉන්න කෙනෙකුට තැඹිලි ගෙඩියක් වගේ. ලස්සනයි, පාටයි, ගුණයි.

කෙටි කතාව, චූටි කාලෙකින් වෙනස්ම ලෝකෙකට එක්ක යන හරි පුදුම මාධ්‍යයක්.

කවිය, තාලයයි ගලා යාමයි එකතු වෙච්ච හරි ලස්සන දොරටුවක්.

කවියයි, කෙටි කතාවයි එක්කාසු උනාම, ඒක වෙනමම රසක්. අතට, දිවට, කනට, ඇහැට නෙමෙයි කෙළින්ම හිතට, හිතෙත් පතුළටම. කුතුහලය චුට්ටකුත් එක්ක උපමා, තව සංකේත එක්කහු කළාම ඕක තවත් ගොඩක් රසයි.

කවියයි, කෙටි කතාවයි එකතු කරල නිර්මාණය කරපු මේ කවි කතාව කියවලාම බලන්නකෝ 

බතට ගොවිතැන් කරන පවුලකි ගුණේ සහ රංහාමි කියලා

අතට හයියක් හොයනවා පන් මෝවිටියෙ හැඩ පැදුරු වියලා

නෙතට නිදි නැති මුත් තුටකි හැම විඩා සිඳ දුර පසෙක තියලා

හිතට සැනසුම ගෙනාවේ දුව අකුරු පොත් ඉගෙනුමට ලියලා

 

පුන් සඳ වැනි පියකරු හිත හරි ලස්සන මුව

සුරඟනකගෙ සිහින් සුමුදු මන පරදන රුව

රඳන මුවගෙ පොදු වැකියකි දුටු කවරෙකු වුව

මේ දෙපළගෙ අඳුර මකන පහන තමයි දුව

 

අඹා නිමවපු සිතුවමක් වගෙ පබා රැස් දූ වෙතින් පෙනුණා

බඹා තීරණෙ කෙරුවෙ එහෙමලු, සෙබළ හිතකට පෙමින් බැඳුණා

හඹා එන පෙම් පුරපු සුසුමක දරු ගැබක් ඔහු නමින් ලැබුණා

දඹානෙට කිට්ටුවෙන් විවපත් කෙනෙක්යැ’යි කන් කොනින් ඇසුණා

 

ගෙවී යන හැම දවසෙ හෝරා

වැවී එන කුස හෙමින් මෝරා

නොවී කිලුටක් දෙගුරු පාරා

දැවී ඇවිළෙනු බැරි ය තෝරා

 

සඟවා මුල මැද අග තතු මව්පිය නොම දෙන්නා

දරුවා වෙනුවෙන් හිමිසඳ සෙවුමට වෙහෙසෙන්නා

තනවා හිත අදිටන මහ බර හිස කරපින්නා

පුරවා කඳුළැලි මැදියමෙ ගෙපැලින් පිටවෙන්නා

 

කලක් විය ඒ ජීවිතේ කිසි දාක නොම වුණු බහින් බස්

ඉලක්කෙක ගිය මාවතේ පරහටම වැවුණනෙ පඳුරු ගස්

වළක්වන්නට බැරි නියා උහුලමින් තද මහ පොළොවෙ පස්

මලක් වගෙ සිටි ළපටි දැරිවිට අනේ කොතැනද වැදුණෙ වස්

දකින්න විඳින්න නිවෙන්න !

Image Courtesy : By Author

 
Tagged : /