පරිණාමය

Share

වසර 3000 ජනවාරි 01 කියන්නේ සහස්‍රයකට පස්සේ එන දිනයක් වුවත් මයික් සහ මම, ඒ දවස ගැනවත් කිසිම ගාණක් නැති ව විද්‍යාගාරයේ පරීක්ෂණවලට හිර වී සිටිනු දුටු එලීසා, “ෆ්‍රෙඩ් අදවත් පොඩ්ඩක් එළියට බහින්න. අද වගේ දවසක් අයේ එන්නේ අවුරුදු 1000 කට පස්සේ…” යැයි කියමින් ඇගේ දිගු කොණ්ඩය ද ගසමින් අප අසළින් ගමන් කළා ය.

මා මඳක් ඒ ගැන කල්පනාවකට වැටුණත් මට සැණෙකින් හිනා ගියේ මයික් එලීසාගේ කොණ්ඩය දිහා ඇසිපිය නොහෙළා බලා සිටිනු දුටු විටයි.

“මොකද මයික්, අදවත් එලීසාට කියමුද ඔයාගේ අදහස ගැන”, මා එය ඇසුවේ මයික්ගේ දැහැන බිඳිමින් ය.

“පිස්සුද ෆ්‍රෙඩ් එහෙම එකක් නෑ…ඒ කෙල්ලගේ කොණ්ඩය මාර ලස්සනයි. මම හිතන විදියට අපේ කොළනියේ මේවගේ ලස්සන කොණ්ඩයක් තියෙන්නේ එලීසට විතරයි.”

මයික් කොපමණ දක්ෂ විද්‍යාඥයයෙක් වුවත් තවමත් ඔහුට සහකාරියක් නොමැති වීම ගැන මා හට පුදුමයක් නොවුණේ මට ද සහකාරියක් නොමැති නිසාවෙනි.

විද්‍යාගාරයේ වැඩකටයුතුවලට සිර වී සිටින අපට විවේක කාලයේ ද කිරීමට තියෙන්නේ පර්යේෂණ වාර්තා කියවීම ය. මට ද අද පොඩ්ඩක් විද්‍යාගාරයෙන් ඈත් වී එළියට ගොස් විනෝද වීමට සිතක් පහළ වුණේ එලීසාගේ වචනෙට ද නැති නම් මට සැබවින් ම මහන්සි නිසා ද බව මම නොදනිමි.

අපගේ මුතුන් මිත්තන්ගේ දින දර්ශනයට අනුව මේ වසර 3000 ආරම්භය වේ. අඟහරු මත කොළනිය ආරම්භ කළ පසු මෙහි ජනගහනය කෙමෙන්, නිරෝගී ව සහ දීර්ඝායුෂ සහිත ව වර්ධනය වූයේ නූතන විද්‍යාවේ ශක්තිය නිසා බව පිළිගත යුතුයි.

පෘථිවියේ සිට කළ නොහැකි පර්යේෂණ රාශියක් අපි මෙහි කොළනි ආරම්භ කළ පසු ව සිදු කළෙමු.

නමුදු, පෘථිවි මිනිසාට බොහෝ කාලයක් යන තුරු වෙනත් ජීවීන් විශේෂයක් වෙනත් ග්‍රහලෝකයකින් සොයා ගැනීමට නොහැකි විය. ජීවයක් තිබිය හැකි යැයි විශාල සම්භාවිතාවක් තිබුණු ග්‍රහලෝකවලට පවා යාමට මිනිස් ජීවිත දෙක තුනක කාලයක් අවශ්‍ය විය. සමහරවිට එම කාලය ඊටත් වැඩි මිස අඩු නොවීම මුළු මහත් පෘථිවි වාසීන්ගේ වාසනාව ද අවාසනාව ද කියලා මට තවමත් නොතේරේ.

කාලය අවකාශය ගුරුත්වය පිළිබඳ සංකල්ප පිළිබඳ පරීක්ෂණ රාශියක් ඉතා පහසුවෙන් අඟහරු මත සිදු කළේ අඟහරු මත පෘථිවියේ මෙන් විවිධ නීති නොමැති නිසා ද, ඇති පමණට භූමිය තිබුණ නිසා ද, යන්න මතභේදාත්මක යි.

දැනට වසර 500 කට පෙර පෘථිවියට ළඟා වීමට නොහැකි තැනකට යාම ගැන පෘථිවි වාසීහු පිඹුරුපත් සැකසූහ. එවකට මේ ක්‍රියාදාමයේ ප්‍රධාන තැනක් ගත්තේ මහාචාර්ය ජෝන් සහ සහකාර විලියම් ය. එම ක්‍රියාදාමය යටතේ පෘථිවියට ඉතා සමානකමක් දැක්වූ ග්‍රහයෙක් සොයාගැනීමට ඔවුන් සමත් විය. මෙම ග්‍රහයා පෘථිවි 2.0 ලෙස නම් කළේ විද්‍යාත්මක ව එම ග්‍රහයාගේ ලක්ෂණ පෘථිවියට ඉතා සමාන වූ නිසයි. ඉතිහාසයේ පටන් මිනිසුන් සිතා සිටියේ මෙම විශ්වයේ මිනිසුන් තනි වී ඇති බවයි. දාර්ශනිකයින් සහ විද්‍යාඥයින් විශ්වයේ මිනිසා තනි වී නොමැති බවට කොපමණ තර්ක විතර්ක ඉදිරිපත් කළත් ඒවා සියල්ලක් ම දැනට වසර 500 කට කළින් ඔප්පු කිරීම නිකන් ම නිකන් පුස්සක් විය.

කාලය සහ අවකාශය පමණක් ගැන සිතා සිටින පෘථිවි වාසීන් වෙනත් මානයක් ගැන සිතුවා නම් එය ගුරුත්වය සම්බන්ධ විග්‍රහයක් පමණක් ම විය.

පෘථිවියේ සිට ආලෝක වර්ෂ දහස් ගාණක් ඈතින් පිහිටා තිබෙන ලෝකයකට යාම පණු කුහර සංකල්පය ‍යතාර්ථයක් බවට පත් කරගන්නා තාක් සිතළුවක් පමණක් ම විය. කළු කුහරවල සහ වෙනත් ග්‍රහයන්ගේ ගුරුත්වය උදව් කරගෙන කැටපෝලයකින් ගලක් විසික් කරනවාක් මෙන් අධි ගුරුත්වයකින් අභ්‍යාවකාශ යානයක් විශ්වයේ තෙරක් නොපෙනෙන අවකාශයට තල්ලු කරවීම මෙහි සරල සංකල්පය විය.

ද්විමාන මාන සංකල්පයෙන් බැහැර වී ත්‍රිමාන, චතුර්මාන දක්වා ගිය විට අපිට පණු කුහර සංකල්පය පැහැදිලි කරගත හැකි වුවත්, අපි ප්‍රායෝගික ව විශාල වස්තූන් පණු කුහර වලින් යැවීමට අපොහොසත් වුණෙමු.

එබැවින් යානාවල ඉන්ධන ඉතිරි කර ගැනීමට විශ්වයේ තිබෙන ගුරුත්වාකර්ෂණ ශක්තිය භාවිතා කිරීමේ ක්‍රමයක් වැඩිදියුණු වුණි. මෙම ක්‍රමයට පණු කුහර සංකල්පය යනුවෙන් හැඳින්වීමත් එතරම් ම ගැටලුවක් නොවුණි.

ආලෝක වර්ෂ දහස් ගණනකට ඉතා අඩු ඉන්ධන ප්‍රමාණයක් භාවිතා කර යාමට මෙම සංකල්පය නිසා පෘථිවි මිනිසාට හැකියාව ලැබුණි. වසර 2500 දී, පණුකුහර සංකල්පය ප්‍රායෝගික ව කළ හැකි වුවත් මිනිසාට තවත් අභියෝගයක් තිබුණි. එනම් ජීවය දිගුකාලයක් නොපැවතීම හෙවත් අඩු මිනිස් ආයු කාලයයි. මෙයට එවකට තිබූ ඉතාමත් සාර්ථක ක්‍රමය වූයේ ශිශිර නින්දයි.

ශිශිර නින්දේ අතුරු ප්‍රතිඵල ගැන මිනිසාට අවුරුදු 2500 දී කිසිම දැනුමක් තිබුනේ නැත. පළමු ප්‍රායෝගික ශිශිර නින්ද මාසයක් වැනි කෙටි කලකට මිනිසෙක් යොදා පරීක්ෂා කිරීමට සූදානම් කළේ මීයන්,වඳුරන් සහ ඌරන් වැනි සතුන්ට ශිශිර නින්ද සාර්ථක  වූ පසුවයි.

සතුන්ගේ පරීක්ෂණවලින් තහවුරු වූයේ ශිශිර නින්ද මිනිසාට ද ප්‍රායෝගික ව කළ හැකි බවයි. නමුත් ගැටලුව වූයේ වසර මිලියන ගණනාවක සිට සැකසුණු මිනිසාගේ ජාන රටාවයි. මනුෂ්‍යයාගේ ආරම්භයේ පටන් පොළව තුළ නොනැසී පැවතීමට ඉතා කුඩා ජාන අතර පවා විශේෂිත වූ සැකැස්මවල් ඇති වී තිබේ.

ඈත අතීතයේ මිනිසාට සිදු වූ සමහරක් වයිරස් ආසාදනවලින් සහ මිනිසුන් – මිනිසුන් අතර හෝ මිනිසුන් – සතුන් අතර සිදු වූ ජාන කලවම් වීම් නිසා මෙම තත්ත්වයන් නිර්මාණය වී ඇත.

දිගු කාලයක් නින්දේ සිටිය ද හදවත සහ මොළය නොනැසී ශරීරය දිරාපත් නොවී තබා ගැනීමට සහ පරිවෘත්තීය ක්‍රියා 100% ක් සාර්ථක ව පවත්වා ගැනීමට විද්‍යාඥයන් භාවිතා කළ සං‍යෝගය කාබන් – X ලෙස නම් කළේ මෙම සං‍යෝගය අතිශය අහඹු ලෙස සොයාගත් නිසයි.

වතුර නොමැති ව බොහෝ කාලයක් නොනැසී නිද්‍රා ගත ව ජීවත් වෙන මාළුන් වැනි සතුන්ගේ DNA ගැන පරීක්ෂණ සිදු කිරීමේ දී මෙම සං‍යෝගය විද්‍යාඥයන්ට සොයා ගැනීමට හැකියාව ලැබුණි. සියලු ම රසායනික වාර්තා සාර්ථක වූ පසු මිනිසාට කාබන් – X භාවිතා කිරීම දැනට අවුරුදු සිය ගණනකට පෙර සිට ම මහාචාර්ය ජෝන් සහ විලියම්ගේ පටන් දුර අභ්‍යාවකාශයට ගිය සියලුම දෙනා සිදු කළහ.

කාබන් – X එන්නත් කර කැප්සියුලයක් තුළට ඇතුළු කළ මිනිසුන්ගේ පරිවෘත්තීය ක්‍රියා අධ්‍යනය සහ පටක සාම්පල් පරීක්ෂා කිරීම, මගේ සහ මයික්ගේ ප්‍රධානම රාජකාරිය විය. අවුරුදු සිය ගාණක් තිස්සේ කාබන් – X වල ඇති අතුරු ආබාධ අඩු කිරීමට මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් අඟහරු කොළනි වැසියෝ විශාල මෙහෙයක් ඉටු කළහ.

ඕනෑම බෙහෙතක් හෝ රසායන ද්‍රව්‍යයක් මඟින් අතුරු අබාධ ඇති විය හැකි බැවින්, නොසැළකිය හැකි තරමේ ආබාධ එතරම් ම ගණන් නොගැනීමට අපේ ජ්‍යේෂ්ඨ පරීක්ෂකයෝ මුල දී තීරණය කළහ. පෘථිවි 2.0 වෙත මුලින් ම ගිය මහාචාර්ය ජෝන් සහ සහකාර විලියම් ඇතුළු කණ්ඩායමෙන් වසර 3000 වන විට ලැබුණු පණිවිඩය එම තීරණය පිළිබඳ දෙගිඩියාවක් ඉහළ මට්ටමේ පරීක්ෂකයින් සියලු දෙනා තුළ ම ඇති කර තිබුණි. එම තීරණය අනාගතයට කොතරම් දුරකට බලපෑම් කරයිද යනවග කිසිම කෙනෙක්ට අවබෝධයක්, මුල් කාලයේ තිබුණේ නැත.

“ෆ්‍රෙඩ්, අද හවස පාටියට අපි යනවද එතකොට?”

“යමු මයික්, අපිත් පොඩි විවේකයක් ගත්තොත් අපේ වැඩවලට පහසුවක් වෙයි. අනික එලීසාගේ ඉල්ලීමත් අහක දාන්න බෑනෙ, නේද?”

මා එහෙම කියද්දී මයික්ගේ සුදුමැලි මුහුණ රත් පාට වී යන ආකාරය මට අමුතු උපහාසාත්මක හිනාවක් ගෙන දුණි. මයික්ගේ හිතේ එලීසා ගැන බලාපොරොත්තුවක් ඇති බව මට වැටහුණේ දැනට මාස කීපයකට පෙරයි. අපේ පරීක්ෂණ කටයුතුවලට උදව් වෙන එලීසා. ඊළඟ අභ්‍යාවකාශ මෙහෙයුමට අප දෙදෙනා සමඟ එක්වීමට ද නියමිත ය.

හවස තිබුණු සහශ්‍රයේ උත්සවය සඳහා අඟහරු කොළණි වැසියන් මහත් උද්‍යෝගයෙන් එකතු වුණු ආකාරයක් අපට දැකගන්නට පුළුවන් වුණි. පෘථිවි වැසියන්ගෙන් ලැබුණු සුබපැතීම් සහ පෘථිවි තෑගි බෝග පිරුණු ශටලය නිසා උත්සවය තවත් ආකර්ෂණී ස්වභාවයක් ඉසිලු වේ ය.

උත්සවයේ අවසන් භාගයේ අපේ පර්‍යේෂණ කණ්ඩායම්වල ඉදිරි වැඩ කටයුතු පිළිබඳ කොළණි වැසියන් දැනුවත් කිරීම සිදුවුණි. කොළනියේ ප්‍රධානියා ලෙස කටයුතු කළ පෘථිවියේ හිටපු හමුදා ජෙනරාල්වරෙයෙකු මෙන් ම රසායන විද්‍යාව පිළිබඳ උපාධි කීපයක් ඇති මහාචාර්‍ය රොබට් විසින් පැමිණ සිටි සියලු දෙනා දැනුවත් කෙරිණි.

මහාචාර්ය ජෝන් සහ ඔහුගේ සහකාර විලියම් ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායමේ එකොළොස් දෙනෙක් දැනට වසර තුන්සීයකට පෙර ඔවුන් විසින් ම  සොයාගත් කාබන්- X භාවිතා කර පෘථිවි 2.0 වෙත පිටත් වූහ. එය මානව ඉතිහාසයේ විශේෂ ම අවස්ථාවක් වනුයේ, අපගේ අලුත් නිවහන එය වීමට 90% ක සම්භාවිතාවක් තියෙන නිසා ය.

“සියලු ම අඟහරු කොළනි වැසියන් අද දින සතුටු වන්නට ඇති බව මා සිතනවා. ඔබලාගේ සතුට දීර්ඝ කාලයක් රැඳේවායි මා ප්‍රාර්තනා කරනවා.  දැනට අවුරුදු 500 කට පමණ පෘථිවි 2.0 වෙත ගිය මහාචාර්ය ජෝන් ඇතුලු පිරිස එවූ අවසන් පණිවිඩය අපිට සතියකට කලින් ලැබුණා.

එහි තිබුණේ මෙසේයි,

‘කරුණාකරලා අපිට උදව් දෙන්න අපගේ හය දෙනෙක් මේ වන විටත් අතුරුදන්, අපි සාර්ථක ලෙස මෙහි පරීක්ෂණ කරගෙන ගියත් කුමක්දෝ අපි නොදන්න අත්භූත ජීවීන් කීපදෙනෙක් අපිට ළඟක දී සිට පහර දෙනවා,

මෙහි සිටින ස්වදේශිකයින් පවා ඒ කුමක්ද කියා හරි හැටි දන්නේ නෑ. කරුණාකර මේ වෙලාවේ ඔබලාගේ සහය අපිට අවශ්‍යයි. මෙම ජීවීන්ට මුහුණ දීමට අප ළඟ තිබෙන ආයුධ ඉතාම සීමිතයි. කාබන්-X රැගෙන එන්න.

                                                                    – මහාචාර්ය ජෝන් – ‘

මෙහි තිබෙන දේවල්වලින් අපිට තේරුම් ගන්න පුළුවන් වුණේ කවුරුන් හෝ ජීවීන් කොටසක් අපේ කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.

නමුත් අවසානයේ ‘කාබන්-X රැගෙන එන්න’ යන පණිවිඩය තේරුම් ගැනීමට අපහසුයි.

පෘථිවි 2.0 වෙත ගොඩ බැස්ස දවසේ පටන් අඟහරු කොළනිය සමඟ මනා සන්නිවේදනයක් තිබුණත් අවසන් පණිවිඩ කීපය අපට විශාල ප්‍රහේලිකාවක්.”

මහාචාර්ය රොබට්ගේ ඒ අවසාන පැහැදිලි කිරීමෙන් පසුව සියලු දෙනාගේ සිනා මූණු ප්‍රශ්නාර්ථයකින් වැසී ඇති බව දකින ඕන කෙනෙක්ට පෙනෙන්නට තිබිණි.

මට සහ මයික්ට ඊටත් වඩා චකිතයක් තිබුණේ පෘථිවි 2.0 වෙත ඊළඟට යන කණ්ඩායමේ අප දෙදෙනා සිටින නිසයි.

“ෆ්‍රෙඩ් දැන් නම් ඉක්මනට ම ලීසට මගේ අදහස කියන්න ඕනෙ කියලා හිතෙනවා මට, මොකද ආයේ අපිට අපේ කොළනියට එන්න පුලුවන් වෙයිද දන්නෑනෙ…”

මයික් ගේ ඒ කතාවට මට යන්තමින් හිනාවක් ආවත් ඒ කතාවේ පොඩි ඇත්තක් ඇති බව මට ද  වැටහී තිබුණි.

සහස්‍රයේ සැමරුමට දින කීපයකට පසු පෘථිවි 2.0 වෙත යන කණ්ඩායම ප්‍රසිද්ධ කරන ලදී. මම මයික් එලීසා ඇතුළු පහළොස් දෙනෙක් ගමනට එක් වීමට නියමිත ව තිබුණි. වසර සිය ගාණක් තිස්සේ වැඩි දියුණු කරන ලද කාබන් – X අපෙ මේ ගමනට භාවිතා කිරීමට තීරණය කළේ අතුරු ආබාධ ඉතාමත් ම අඩු සෞඛ්‍යාරක්ෂිත ප්‍රතිකාරකයක් බැවිණි. මට සහ මයික්ට ඒ ගැන ගැටලුවක් නොවූයේ කාබන්-X වැඩිදියුණු කරන ව්‍යාපෘතියේ අපි වැඩ කළ බැවිණි.

කණ්ඩායමේ නම් ප්‍රකාශ කර මාසයක් ඇතුළත අපි පෘථිවි 2.0 බලා යන දවස උදා විය. අප ගාව පවතින ඉතාමත් දියුණු තාක්ෂණය යටතේ ගමන යාම බිය වීමට කාරණයක් නොවුවත්, ගොඩබැසූ පසු සිදුවීමට යන දේවල් කිසිවක් අප නොදන්න නිසා අපි තරමක දෙගිඩියාවකින් සිටියෙමු.

ශිශිර තරණ කැප්සියුල් එකට ගිහින් අවුරුදු කීපයක් ඇතුළත ඇහැරෙද්දී අපේ යානය පෘථිවි 2.0 ට අදාල කක්ෂයක් තුළ ස්ථාන ගත වී තිබුණි. සම්පූර්ණ ගමන කෘතිම බුද්ධිය උපයෝගී කරගෙන වැඩසටහන් කර තිබූ නිසා අවම අවුරුදු ගාණක් තුළ අවම ශක්ති පරිභෝජනයකින් අපි පැමිණියෙමු. ඒ අපේ උදව් අවශ්‍ය සගයන් කීපදෙනෙක් මෙම ග්‍රහයාගේ සිටින බැවිණි.

කෙසේ නමුත් ඉදිරියේ වෙන්න තියෙන දේවල් ගැන අපට ද හරි හැටි අවබෝධයක් තවමත් නැත.

“ෆ්‍රෙඩ්… ෆ්‍රෙඩ්… ඔබ හොඳින් නේද?”

ශිශිර නින්දෙන් පළමු ව ඇහැරුන මයික් විසින් අප සියලු දෙනා ඇහැරවනු ලැබීය.

“මම හොඳින් මයික්, ස්තූතියි”

ඇලීසා ඇතුළු අනික් අයත් ඇහැරුණු පසුව අපගේ පළවෙනි නිරීක්ෂණ වටය ආරම්භ කිරීමට යානයක් සූදානම් කෙරිණි.

මේ සඳහා අප ශිශිර නින්දෙන් ඇහැරීමට ප්‍රථම ව ලියෝන් විසින් සියලු දත්ත එක් රැස් කර තිබුණි. ලියෝන් කියන්නේ අපි ආ යානයේ නමයි. ඇත්තට ම මුළු යානය ම රොබෝ කෙනෙක් ආකාරයට ක්‍රියා කරන්නකි. ඒවගේ ම එය අපගේ පරීක්ෂණවලට ද සක්‍රීය ව දායක වේ. කෘතීම බුද්ධිය අභ්‍යාවකාශ තරණයට යොදාගැනීම මානව ඉතිහාසයේ ලැබූ විශාල පෙරළියක් ලෙස ගත හැක.

ලියෝන්ගේ දත්තවලට අනුව පෘථිවි 2.0 වල අපි ගොඩ බසින ස්ථානයේ හානිදායක භූ පිහිටීම් හෝ හානිදායක විලෝපිකයින් නැත. එම ස්ථානය මහාචාර්‍ය ජෝන්ගේ නැවතුම් පොළට ඉතා ආසන්න ව තෝරාගැනීමට අප වගබලා ගත්තේ ඔවුන් ආසන්නයට යාමට පහසුවක් වේවියි සිතා ය. ඔවුන්ගේ ස්ථානයට කෙළින්ම නොගියේ ආරක්ෂිත පියවරයන්ට අනුව ක්‍රියා කිරීමට අපට වුවමනා වූ නිසයි. අප තවමත් ඔවුන්ට පහර දුන් ජීවීන් ගැන හරිහැටි දැනුවත් වී නොමැත.

පහළට යාමට පෙර මහාචාර්‍ය ජෝන් ඇතුළු කණ්ඩායම සම්බන්ධ කර ගැනීමට අපි උත්සාහ දැරුවෙමු. කිහිප වතාවක් උත්සාහ කළ විට සහකාර විලියම් අප සමඟ සම්බන්ධ විය. ඔහුගේ කලබල කාරී කටහඬින් ඇසූ පළවෙනි ප්‍රශ්නය වූයේ මෙයයි.

“කාබන්-X ගෙනාවද?, හැකි ඉක්මනින් ඒවා අපට ලැබෙන්න සලස්වන්න. අපි ලොකු කරදරයක ඉන්නේ !”

කාබන්-X ගෙන ආ බැවින් පුළුවන් තරම් ඉක්මනින් සහකාර විලියම් අපිට ඔවුන් සිටින තැනට පැමිණෙන ලෙස දැන්වූයේ ය.

පහළ සිටින අයට කාබන් – X මෙතරම් වුවමනා ඇයිද යන්න අපට දැනගැනීමට අවශ්‍ය විය. විලියම්ගෙනුත් අපට වැදගත් තොරතුරක් නොලැබුණ නිසා අපි කීප දෙනෙක් පහළට කාබන් – X සමඟ පිටත් වීමට තීරණය කළෙමු.

ලියෝන්ගෙන් වෙන් වෙලා පහළට යාමට මම, මයික් සහ තවත් දෙදෙනෙක් එකතු වුණෙමු. එලීසා අප එන තෙක් අනිත් දහ දෙනා සමඟ යානයට වී ඩ්‍රෝන්වලින් ග්‍රහයාගේ දත්ත එකතු කිරීමට සූදානම් වුණා ය.

මෙම ගමන ඒමට පෙර තිබූ එලීසාගේ දිගු කෙස් කළඹ දැන් නැති ය. මයික්ට ඒ ගැන පොඩ්ඩක් කණගාටු උනත් ඔහු හිත හදාගත්තේ අනික් අය දෙස බැලීමෙන් ය. අභ්‍යාවකාශයේ දී කෙස් කළඹක් නඩත්තු කිරීමට ගියොත් ජීවිතය අවදානම් වෙන බැවින් යානයේ සිටි සෑම දෙනාම පාහේ කෙටි කොණ්ඩයකින් යුක්ත විය. මයික් එලීසාට තාමත් ඔහුගේ බලාපොරොත්තුව කියා නැත.

අප පහළට ගොස් යළිත් පැමිණීම ගැන මයික්ට විස්වාසයක් නොමැති නිසාදෝ ඔහු එලීසාට ඔහුගේ අදහස අප පිටත් වීමට පෙර කියා සිටියේ ය. එලීසා ද එය කාලෙක සිට බලාපොරොත්තුවෙන් සිටි යෝජනාවක් වූ බැවින් එලීසා මයික්ගේ යෝජනාව පිළිගෙන සීතල හාද්දකින් මයික්ට සංග්‍රහ කළ ආකාරය දැකීමෙන් අපට පහළ තියෙන ප්‍රශ්නය සුළු වේලාවකට අමතක වී ගියේ ය.

අපේ කණ්ඩායම එලීසා ඇතුළු කණ්ඩායමෙන් සමු අරගෙන පහළට යාමට කුඩා යානයට ගොඩවූයේ කාබන් – X සාම්පල් කීපයක් ද රැගෙනයි.

පහළ කිසි අනතුරක සේයාවක් නොතිබූ බැවින් අප නොබෝ වෙලාවකින් මහාචාර්‍ය ජෝන් ඇතුළු කණ්ඩායම සිටි තැනට ළඟා වුණේ කුතුහලය සහ බිය හිතේ රඳවගෙනයි.

“ෆ්‍රෙඩ්, මයික් ඔබලාව දැමකීමත් සතුටක්. ඔබලා දැනගතයුතු බොහෝ දේවල් තියෙනවා අපි ඉක්මනින් මෙම ලෝකයෙන් පිට වී යා යුතුයි,”

මහාචාර්ය ජෝන්ගේ ඒ වචන අපි කිසිසේත් ම බලාපොරොත්තු නොවූ දෙයක් විය.

“ඇයි මහාචාර්‍යතුමා එහෙම කියන්නේ? අපිට මෙහි කිසිම වරදක් පේන්නේ නෑනෙ.”

මයික්ගේ ඒ ප්‍රශ්නයත් සමඟ සිහින් උපහාසාත්මක බැල්මක් හෙලූ මහාචාර්‍ය ජෝන් අපිව විශේෂිත කාමරයකට ගෙන ගියේ අපිව පුදුම කරමිනි.

“මෙම කාමරය තුළට එළියෙන් කිසිම සංඛ්‍යාතයක පණිවිඩයක් එන්නෙත් නෑ, අපිට එළියට යවන්නත් බෑ. ඒ කියන්නේ අපි මෙහි දී ආරක්ෂිතයි.”

“කුමකින්ද අපි ආරක්ෂා වෙන්න ඕනෙ මහාචාර්‍යතුමා, කව්ද අපිට පහර දෙන්නේ ?”

මගේ ඒ ප්‍රශ්නයත් සමඟ මේ වනතෙක් අප සිතා සිටි සියලු ම සුරංගනා කතා එක මොහොතින් ඇත්තක් වන්නා සේ මට දැනුණි.

“ෆ්‍රෙඩ්, මයික් ඔබ මම කියන දේවල් ඇත්ත බව අද රෑ වෙද්දී පිළිගනියි.”

“අපි මේ ලෝකය ජීවත් වෙන්න සුදුසුයි කිසා සිතා සිටියත් අපේ ම වැරැද්දක් නිසා අපට එය ජීවත් වීමට සුදුසු නැති වී තිබෙනවා. මෙම ලෝකයේ සිටින ස්වදේශිකයින් සමඟ දැනට අවුරුදු 50ක මෑත කාලයේ දී අප දැක් වූ සමීප සම්බන්ධතා නිසා තමා අපේ හය දෙනෙක් අතුරුදන් වුණේ. ඇත්තට ම ඔවුන් අතුරුදන් වී නැති බව අපි දැනගත් පළමු දවසෙයි අඟහරුවලට අපි අන්තිම පණිවිඩය එව්වේ. එහි දී ඇත්ත විස්තරේ නොකීවේ අපට මෙහි සිට බේරී යාමට උදව් නොලැබෙනු ඇතැයි සිතීමෙන්.”

මයික්ට නම් මේ වෙලාවේ තරමක තරහක් ඇවිත් ඇති බවක් මට යන්තමින් පෙනුණි. මහාචාර්‍ය ජෝන් ඇත්ත වසන් කිරීමෙන් සියලු දෙනා කරදරයක වැටී ඇති ආකාරය බලද්දී මයික්ට තරහා  යෑම සාධාරණ ය.

“මහාචාර්ය ජෝන් අපට පැහැදිලි ව කියන්න මොකක්ද තර්ජනය ?”

“මයික්, තර්ජනය තමා කාබන් – X…”

“මොකක්! තර්ජනය කාබන්-X නම් අපට එය රැගෙන එන ලෙස බල කළේ ඇයි?”

ප්‍රශ්න ගොඩක් අප වටා කැරකෙමින් තිබුණි. මේ සියලුම ප්‍රශ්නවලට මහාචාර්ය ජෝන් පිළිතුරු සපයනු ඇතැයි අපි බලාපොරොත්තුවෙන් සිටියෙමු.

“ෆ්‍රෙඩ්, අපට බේරෙන්න තියෙන අන්තිම අවස්ථාවත් මේ කාබන්-X තමා, මම පැහැදිලි කරන්නම්.”

“අපි මේ ඉන්න ලෝකයේ සං‍යුතිය ගත්තොත් විශාල බිම්මල් ග්‍රහලෝකයක් ලෙස හැඳින්වූවාත් ප්‍රශ්නයක් නැහැ. ඒ තරමට විශාල ලෙස දිලීර මෙම ලෝකය පුරා හැමතැන ම තියෙනවා දකින්න පුළුවන්. මෙහි ඉන්න ස්වදේශික ජනතාවට ඒ දිලීරයන්ගෙන් බලපෑමක් නොවුණත්, කාබන් – X යොදාගෙන ශිශිර තරණය කරලා එන අප ව මේ ලෝකය විසින් ප්‍රතික්ෂේප කරනවා.

මේ දිලීර නිසා ඇත්තට ම මේ ලෝකය විශාල ජීවියෙක් ආකාරයට ක්‍රියා කරනවා. කුමක්දෝ හේතුවක් නිසා ඉතා ම මෑතක් සිට අපට පහර දුන් ජීවීන් අපේ ම සහයකයින් කියලා අපි අඳුර ගත්තේ ඔවුන් දමා ගිය බැච් එකක් ආධාරයෙන්. මේ දිලීර අපි ගැන අවබෝධයෙන් ඉන්නේ. ඒක කොහොම වෙනවාද කියලා අපි තාම දන්නේ නෑ.

අපිට හැම රැයක ම පහරදීමක් වෙනවා මේ කාමරේ තමා ආරක්ෂිත ම තැන අපිට නැවතිලා ඉන්න. අපිට දැනුණ විදියට අපේ පණිවිඩවලට පවා මේ ග්‍රහයා ප්‍රතිචාර දක්වනවා.

මම ඔබලාට කියන්නේ ස්වදේශිකයන්ගෙන් ඈත් වෙලා ඉන්න ලෙසයි. ඔවුන් කිසිම තර්ජනයක් නොවුණත් ඔවුන් සමඟ සම්බන්ධතා පැවැත්වීමෙන් පසු ව තමා අපේ අය මේ ග්‍රහයාට ගොදුරු වෙන්න පටන් ගත්තේ.”

“අපට බැරිද ඉතින් මේක සුව කරන බෙහෙතක් හොයාගන්න. අපිට පහර දෙන්න එන අයගේ පටක සාම්පල් ටිකක්. මොකක්හරි කරන්න පුළුවන් වෙයි”

මයික්ගේ ඒ අදහස හොඳ වුවත් එය සාර්ථක නොවන බව මහාචාර්ය ජෝන් ප්‍රකාශ කළේ ඔවුන් ද ඒ ගැන සොයා බැලූ බවත් මේ දිලීරය සියලු ම ප්‍රතිකාරවලට එරෙහි ව නැගී සිටින බවත් ය.

සියලු ම තොරතුරුවලින් අපිට පැහැදිලි වුණේ අපි මේ ඇවිත් තියෙන්නේ දියුණු මට්ටමේ දිලීරයන්ගෙන් පාලනය වන පරපෝෂිත ලෝකයකට බව ය.

කාබන් – X නිසා මේ දිලීරය අප තර්ජනයක් බව හඳුනාගෙන ඇත. එබැවින් අපව භක්ෂණය කර දැමීමට එය තීරණය කර ඇති බව අපට වැටහුණි.

ක්‍රමයෙන් රාත්‍රිය උදා වෙද්දී අපට මහාචාර්ය ජෝන් කියූ දේවල් දැක ගැනීමට පුළුවන් විය. රාත්‍රී සීතලට ක්‍රියාකාරී වන දිලීරයන්ගෙන් පාලනය වන අපේ සහයකයින් කඳවුර වටා කැරකෙන ආකාරය කැමරාවලින් අපිට පෙනුනේ කුඩාකල නැරඹූ ‘Zombie’ චිත්‍රපට සිහිපත් කරවිමිනි. කලින් පෘථිවියේ හෝ අඟහරු කොළනියේ නොවූ මෙම තර්ජනය නිසා මෙහි වාසස්ථාන පිහිටු වීම පිළිබඳ අපට සැකයක් ඇති විය.

අප සිටින ආරක්ෂිත කාමරය නිසා අපට කරදරයක් නො වීය. නමුත් අපෙන් පණිවිඩයක් නැති බැවින් එලීසා සිටියේ කලබලයෙනි.

ලියෝන් යැවූ ඩ්‍රෝන් මඟින් ලබාගත් කඳවුරේ දර්ශන බලද්දී මයික් ඇතුළු පිරිසට තමන්ගේ උදව් අවශ්‍ය බව එලීසා වටහා ගත්තා ය. ඇය ලියෝන් මත සිට ම ඩ්‍රෝන් ප්‍රහාරයක් කඳවුර වටේ සිටින ජීවීන්ට එල්ල කළේ එම ජීවීන් තමන්ගේ කණ්ඩායමේ අය බව නොදැනයි.

එලීසාව පුදුම කරමින් එම ජීවීන් විනාශ වනවා වෙනුවට ද්විකණ්ඩනයෙන් නැවත වර්ධනය විය. මට සහ මයික්ට එලීසා කරන මේ වැඩේ නවතා තත්ත්වය පැහැදිලි කර දීමට වුවමනා වූ බැවින් ආරක්ෂිත කුටීරයෙන් එළියට යාමට අවශ්‍ය විය.

මහාචාර්‍ය ජෝන්ගේ අනතුරු ඇඟවීම නොසළකා එළියට ගිය අපි දෙදෙනා එලීසාට පණිවිඩයක් යැවීමට අපේ යානය තිබෙන පෙදෙසට ඉක්මනින් ගියෙමු.

යානයට ගිහින් මම පණිවිඩයක් තියන තෙක් යානය මයික් මුර කළේ හුරු පුරුදු හමුදා භටයෙක් ලෙසයි.

පණිවිඩය ලබා දුන් පසු එලීසා අප හොඳින් බවත්, ග්‍රහයාගේ ඇත්ත තත්ත්වය ගැනත් තේරුම් ගත්තා ය.

නමුත් අපට ආයේ ආරක්ෂිත කුටීරයට යාමට දිලීර ජීවීන් සමඟ සටනක් කිරීමට සිදු විය. එම සටන අප සිතූ තරම් ලේසි නොවුණි.

මයික් ඔහුගේ ජීවිතය කැප කර මගේ ජීවිතය බේරා ගත්තේ, මැරීමට නොහැකි දිලීර ජීවීන් නොමඟ යැවීමට වෙනත් පසකට රැගෙන යමිනි.

මා මයික්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂිත කුටීරයට පැමිණි පසු, මහාචාර්‍ය ජෝන් ඇතුළු කණ්ඩායම ඉතා දුක් විය.

එලීසාට මෙම පණිවිඩය කෙසේ කියන්නද? මා එක්ක වැඩ කළ මගේ සහයකයා, මගේ මිත්‍රයා මාව බේරගන්න දිවි දුන් බව මම කෙසේ දරාගන්නද?

මේ ග්‍රහයාගේ තිබෙන භයානකකම අපට නැවැත්විය නොහැකි බව මට තේරුම් ගියේය. නවත්වන්න අවශ්‍ය නම් අපට සීල් කළ ආරක්ෂිත බංකර යොදාගැනීමට සිදුවනු ඇත. නමුත් අපේ මනුෂ්‍ය වර්ගයාට අවශ්‍ය නිදහසේ හුස්ම ගන්න පුලුවන් ග්‍රහයෙක් බැවින් මෙහි ජනාවාස ඇති කිරීම තව අවුරුදු සිය ගානකට පහු කිරීමට අපට සිදු වනු ඇත. එතෙක් අභ්‍යවකාශ කක්ෂයක අපේ යානා නවත්වමින් මෙම දිලීරය පිළිබඳ පරීක්ෂණ කිරීමට අපි තීරණය කළෙමු.

ලියෝන් අපට ඒ සඳහා උපකාරයට සිටීම අපට විශාල ශක්තියකි. මයික්ගේ වෙන්වීම එලීසාට දරාගැනීමට අපහසු විය. එබැවින් මහාචාර්‍ය ජෝන් ඇතුළු කණ්ඩායම සමඟ ඔවුන්ව නැවතත් අඟහරු කොළනිය වෙත පිටත් කිරීමට මම ඇතුළු කණ්ඩායම තීරණය කළෙමු.

අපේ කොළනිය මෙම ග්‍රහලෝකය පිළිබඳ තබා ගෙන සිටියේ ලොකු බලාපොරොත්තුවකි. ඉතිහාසයේ පටන් මනුෂ්‍ය වර්ගයා මුහුණ දුන් අභියෝගත් සමඟ බලන විට මෙම පරපෝෂිත ලෝකය සහ කාබන් – X කියන්නේ කිසිසේත් ම අපිට  විසඳන්න බැරි අභියෝගයක් නොවේ.

 

Image Courtesies :

 
Tagged : / /