මතක ද?

Share

අලුත් අවුරුද්දක් උදා උනා, 2020 යන්න ගියා. හැම පැත්තෙන්ම යාළුවො, නෑදෑයො, අසල්වාසී අය සුබ පැතුම් එකතු කළා. ඒ කොච්චර උනත් හිතට මදි…..
වැදගත්ම කෙනා.. ඕනම කෙනා.. සද්දයක්වත් නෑ…..

රට ගියාට පස්සෙ මල්ලි ගොඩක් වෙනස් වෙලා. හිතාගන්නත් බැරි තරම්… ඉතිං එක කුස උපන් අක්කා හිතුවා මල්ලිට බොහොම ආදරයෙන්, ‘මුල මතක් කරලා දෙන්න’.

මේ තමයි ලංකාවේ අක්කා අතින් රට මල්ලිට ලියැවුණු ලියුම…

කවිපද තාලෙන් හදවත නැළවුණු සුව මියුරු

රජ කුමරියො සිටු මැතිවරු නිල් දිය සත් සයුරු

මැටි ගෙපැලේ අත්තම්මගෙ සෙනෙහස විඳි අයුරු

මතකද මට නම් කිසි දා අමතක නෑ සොයුරු

 

අත්තගෙ යන්තර මන්තර වෙදපොත් අතර

බයෙන් බයෙන් අපි දෙන්නා උනානෙ නතර

කුඹුරට ටොමියත් එක්කල දිවු හැටි නිතර

මතකද බෝවිටියා පෙත යායක් විතර

 

සරතේලිස් මාමගෙ බටනළා සින්දු හඬට

වශී වෙලයි හිටියේ ඒ තරම් සැපයි අපිට

අඹ කජු පුහුලන් පිරුණම රතට රතේ යසට

බැදිවලමයි මතකද රස දැනුත් මැවෙයි හිතට

 

සුද්දි දුන්නු කිරි සුවඳයි අඩු නැතුව

මඩුවෙ තමයි හඳයා එක්කල පුතුව

රැක ගත්තා ආදර සෙනෙහස ඇතුව

මතකද සෙල්ලම් කළ හැටි පෙම නතුව

 

අව අටවක පායන කළුවර දාට

බස්සොත් ඉකි බිඳිනා මැදියම් රෑට

කෝං බුරුත නුග ගස් දිලිසෙන පාට

මතකද එළි දේවතාවො වැඩි ඊට

 

අමදපු ලස්සන සුදු වැලි මළුව පුරා

විකාල භෝජන ලොකු සාදුටත් හොරා

පෝය දවසෙ සිල් අරගෙන දැහැන දරා

මතකද මට මතකයි මම මියෙන තුරා

 

දර ළිප උඩ හරි පදමට ඉදෙන බත

කැවුවා ඇකයේ හිඳුවා දෙදෙන වෙත

කතන්දරත් අසමින් කුස පිනෙන හිත

මතකය ඇත කිසිදා මඟහැරෙනු නැත

 

ලෝකෙ තියෙන සුන්දරම බැඳීමක්, හැමදාටම නොවෙනස් හයියක් තමයි සහෝදර බැඳීම, ඒ නිසාම වෙන්නත් ඇති මේ ලියමන ලියාපු කාලය පුරාවට අක්කගෙ ඇස් වලින් නොකඩවා කඳුළු ගලාගෙන ආවෙ…

 

Image Courtesy: https://bit.ly/3rDrfSV

 
Tagged : / /