පිටසක්වල ග්‍රහලෝක සොයාගන්නේ කෙසේද?-3

Share

මින් පෙර ලිපියේ අසම්පාතන ක්‍රමවේදය පිලිබඳව පැහැදිලි කරන ලද අතර මෙහිදි එම ක්‍රමවේදයේ වාසි හා අවාසි මෙන්ම අනිකුත් පිටස්තර ග්‍රහලෝක නිරීක්ෂණ ක්‍රමවේදයන් පිලිබඳව සාකච්ඡා කරනු ලැබේ.

පිටස්තර ග්‍රහලෝක සෙවීමේ ක්‍රමවේද අතරින් වඩාත් සංවේදී ක්‍රමවේදයක් වන අසම්පාතනය සංක්‍රාන්ති අවස්ථාව මෙන් විශේෂ පිහිටුමක් මත රඳා නොපවතින හෙයින් බොහෝ තාරකාවන් සඳහා මෙය යොදා ගත් හැකිය. එලෙසම අරීය ප්‍රවේගය මෙන් නොව ග්‍රහලොවේ ස්කන්ධය ඉතා නිවැරදිව කීමට මෙය හරහා හැකි වේ. එමෙන්ම වර්ණාවලීක්ෂ අධ්‍යනය මෙන් ඒකාන්තර අවස්ථාවේදි(Edge on) නිරීක්ෂණ ගත නොහැකි අතර තාරකාව හා ග්‍රහලොව වෙනස් පිහිටුම් වල පැවතිය යුතු අතර එකිනෙකට ලබ්භක අවස්ථාවේදි(Face on) උපරිමයකට පැමිණේ. එලෙසම මෙම ක්‍රමවේදයේ සංවේදීතාව ග්‍රහලොව හා තාරකාව අතර දුර මත තීරණය වේ. දිගු ආවර්ථ කාල(long period of time) හිමි ග්‍රහලෝක තාරකාවේ පිහිටුමත් සමග ඉතා දිගු විස්ථාපනයන් සිදු කරන හෙයින් වර්ණාවලීක්ෂ ක්‍රමවේදය මෙන් නොව තාරකාවෙන් ඈත්ව පවතින ග්‍රහලෝක නිරීක්ෂණයට මෙම ක්‍රමයෙන් හැකියාව ලැබේ.තාරකාවෙන් ඈත් වන තරමට මෙම ක්‍රමවේදයේ සංවේදීතාව ඉහල යාම සිදුවේ. එම නිසා තාරකාවෙන් ඈත්ව පවතින කුඩා ග්‍රහලෝක සොයා ගැනීමේ වැඩි අවස්ථාවක් නිර්මාණය වේ. එමගින් පෘථිවිය වැනි ග්‍රහලෝක හෝ ජීවයට හිතකර කලාපයන්හි පවතින ග්‍රහලෝක සොයා ගැනීමට මේ හරහා අවස්ථාව නිර්මාණය වීම මෙහි තවත් එක් වාසියකි.

මෙහි ඇති පළමු අවාසිය නම් මෙම වෙවුලුම් නිරීක්ෂණය ඉතා අපහසු ක්‍රියාවලියක් වීම ය. උදාහරනයක් ලෙස පෘථිවිය වැනි ග්‍රහලෝකයක් නිරීක්ෂණය මෙම ක්‍රියාවලිය හරහා ඉතාම අපහසු ක්‍රියාවකි. ඒ අනුව මෙම වෙවුලුම්(wobble) නිරීක්ෂණය කිරීම සදහා ඉතා ඉහල විභේදන බලයක් සහිත උපකරණ විය යුතු අතර ඒවා මිනීමට ඉහල නිරවද්‍යතාවයෙන් යුතු උපකරණ අවැසි වේ. එනම් මේ නිරීක්ෂණයන් බොහෝ දුරට පොලොව මත කිරීමට නොහැකි යන්නය. එලෙසම මෙම ක්‍රියාවලිය සතුව ප්‍රායෝගික සීමාවක් ඇත. යම් වස්තු දෙකක් එකම විස්ථාපනය සිදු කර ද, වස්තු දෙක හා පෘථිවිය අතර අතර දුර වෙනස් නම් වඩා ආසන්නයෙන් පිහිටි වස්තුව මගින් ඇති කරන විස්ථාපනය විශාල සේ පෙනේ. ඒ අනුව අසම්පාතනය ක්‍රමවේදය සෞරග්‍රහ මණ්ඩලය අවට අවකාශය සඳහා පමණක් උචිත වේ. එලෙසම තාරකා වල ලප (Star spots) මගින් මෙම තරුව සතුව ග්‍රහලොවක් ඇති බවට වැරදි සංඥා ලබා දීම ද මෙහි ඇති තවත් අවාසියකි. එමෙන්ම ඉතා දිගු ආවර්ත සහිත ග්‍රහලෝක මගින් මව තාරකාවේ ඇති වන වෙවුලුම් නිරීක්ෂණයට ගතවන කාලය විශාල වීමත් මෙහි අවාසියක් ලෙස ගැනිය හැක.

සෘජු ඡායාරූපකරණය(Direct Imaging)

පිටස්තර ග්‍රහලෝක පවතින්නේ පෘථීවියේ සිට ආලෝක වර්ෂ ගණනාවක දුරකින් වන අතර ඒවා මව් තාරකාව මෙන් දහස් ගුණයකින් අඳුරු වස්තුන් වේ. එමනිසා මෙම වස්තූන්ගේ ඡායාරූප ගැනීම අතිශය අපහසු කටයුත්තකි. උදාහරනයක් ලෙස මෙය පිරික්සුම් බල්බයක් අසල කණාමැදිරියන් සොයන්නාක් වැනි කටයුත්තකි.

එම නිසා මෙම ක්‍රමවේදය හරහා ග්‍රහලෝක සෙවීමට මව් තාරකාවේ ප්‍රභාවය අවම කල යුතු අතර ඒ සදහා ක්‍රම කිහිපයක් භාවිත කරනු ලැබේ.
1.තාරකාවේ ප්‍රභාවය අඩු වූ අවස්ථාවක ඡායාරූප ගැනීම
2.ආලෝක බාධකයක් නිර්මාණය කිරීම
මෙහි ප්‍රධාන ක්‍රම දෙකක් වන අතර,
1.කිරීටක ආවරණය(Coronography) – තාරකාවේ ආලෝකය සංවේදකය වෙත ලඟා වීමට පළමුව දුරේක්ෂය තුල ආවරණයක් නිර්මාණය කිරීම. මෙය භූමි වාසි දුරේක්ෂවල භාවිතා වන ක්‍රමවේදයකි.

2.තාරකා ආවරණ ක්‍රමවේදය(Star shade) – දුරේක්ෂයෙන් වෙන්වූ වෙනම අභ්‍යාවකාශ යානාවකින් දුරේක්ෂයට ඉදිරියෙන් පිහිටවා තාරකාවේ ආලෝකය දුරේක්ෂයට ලඟා වීමටත් පළමුව ආවරණය කිරීම. මෙය අභ්‍යාවකාශ නිරීක්ෂණාගාර  වල පමණක්   සිද 

මෙම ක්‍රමවේදය යටතේ 2004 දී Very Large Telescope Array(VLT) මගින් දුඹුරු වාමන් තරුවක් වටා ගමන් කරන බ්‍රහස්පති මෙන්  5 ගුණයක ග්‍රහලොවක් ඡායාරූ ගත කරන ලද අතර එය 2M1207b නමින් හඳුන්වන ලදී.එය ප්‍රථම අවස්ථාව මුත් දුඹුරු වාමනයන් වටා ගමන් ගන්නා ග්‍රහලෝක නියම ග්‍රහලෝක ලෙස එතරම් නොසැලකෙන හෙයින් ප්‍රථම සෘජු ඡායාරූ පිටස්තර ග්‍රහලෝකය ලෙස සැලකෙන්නේ  1RXS 1609 පද්ධතියේ බ්‍රහස්පති මෙන් 8 ගුනයක් වූ ග්‍රහලොවයි. වර්තමානය වන විට මෙම ක්‍රමවේදය හරහා ග්‍රහලෝක 47 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර අසම්පාත ක්‍රමවේදය මෙන්ම අනාගතයේ පිටස්තර ග්‍රහලෝක සෙවීමේ ප්‍රධාන ක්‍රමවේදයක් ලෙස සැලකේ.


මෙහි ඇති වාසිය ලෙස ප්‍රධාන වශයෙන් සත්‍ය ලෙස පිටස්තර ග්‍රහලෝක නිරීක්ෂණය කිරීමේ හැකියාවයි. එම නිසා පිටස්තර ග්‍රහලෝක පිලිබඳ සංකල්ප සැබෑ වීම සිදුවේ. එලෙසම මෙය වඩා සාර්ථක වන්නේ ග්‍රහලොව හා තාරකාව එකිනෙකට ලම්භකව හා දුරස්ව වන පරිදි නිරික්ෂණය වන අවස්ථාවක්දී වන අතර එනිසා අරීය ප්‍රවේග ක්‍රමයට ප්‍රතිවිරුද්ධ වේ.එලෙසම ග්‍රහලෝකය පිලිබඳ වැදගත් තොරතුරු අනාවරණය කිරීමට මෙය හරහා හැකි වන අතර විශේෂයෙන් තරු බිහි වන අවස්ථාවේ ප්‍රාග් තරු තැටිය හා ග්‍රහලෝක අතර අන්තර්සබඳතා මෙන්ම ග්‍රහලෝක සතු වළලු පද්ධති අනාවරණය කිරීම මෙහි ඇති තවත් ප්‍රධාන වාසියකි.

නමුත් මෙම ක්‍රමවේදය වර්තමාන තත්වයන් යටතේ යොදා ගත හැක්කේ සීමිත අවස්ථාවන් සදහා පමනක් වීම මෙහි ඇති ප්‍රධාන අවාසිය වන අතර ග්‍රහ පද්ධතියක වඩා දුරින් පිහිටි වස්තුන් පමණක් මෙමගින් අනාවරණය වීම මෙහි අවාසි ලෙස සැලකේ.

පිටස්තර ග්‍රහලෝක සෙවීමට මෙම ප්‍රධාන ක්‍රමවේද වලට අමතර තවත් ක්‍රමවේද යොදා ගන්නා අතර ඉන් එක් ක්‍රමයක් ලෙස Pulsar Timing සැලකේ.

Pulsar Timing

මෙහිදී පල්සාර වටා කක්ෂගත ග්‍රහලෝක සෙවීම සිදුවේ. පල්සාර යනු වේගයෙන් භ්‍රමණය වන අධික ඝනත්වයකින් යුතු නියුටෝන තාරකාවකි. මෙම තාරකාවන් භ්‍රමණය වන අතරතුර සුවිසල් විද්‍යුත් චුම්බක විකිරණයක් මුදා හරින අතර මෙය අතිශය නිරවද්‍ය කම්පනයක්(pulse) ලෙස නිකුත් වේ. ග්‍රහලොවක් මේ හරහා ගමන් කිරීමේ දී මෙම කම්පනයන්හි යම් යම් වෙනස් වීම් සිදු වන අතර(shift) මෙම වෙනස් වීම් අනාවරණය කිරීම හරහා ග්‍රහලෝක සොයා ගැනීම මෙහිදි සිදුවේ.

විද්‍යාවේ දියුණුවත් සමග තව තවත් පිටස්තර ග්‍රහලෝක සෙවීමේ ක්‍රමවේද වැඩි වනු ඇති අතර එවිට පිටස්තර ග්‍රහලෝක ගනන ඉහල යනු ඇති අතරම පිටස්තර ජීවයක සාක්ෂී හමුවන දිනයක් ද පැමිනෙනු ඇත. මෙහි දැක්වෙන්නේ 2011 තෙක් එක් එක් ක්‍රමවේදයන්ගෙන් එක් එක් වසරවල ග්‍රහලෝක සොයාගත් ආකාරයයි.

මූලාශ්‍ර

1.https://exoplanets.nasa.gov/alien-worlds/ways-to-find-a-planet/#/3
2.http://www.planetary.org/explore/space-topics/exoplanets/direct-imaging.html
3.https://lco.global/spacebook/exoplanets/pulsar-timing-method/
4.https://www.space.com/8680-direct-photo-alien-planet-finally-confirmed.html
5.http://www.planetary.org/explore/space-topics/exoplanets/how-to-search-for-exoplanets.html

ඡායාරූ මූලාශ්‍ර

1.https://web.njit.edu/~gary/320/Lecture10.html
2.https://www.spaceanswers.com/futuretech/new-worlds-mission-hunting-for-alien-life-using-a-starshade/
3.https://www.space.com/8680-direct-photo-alien-planet-finally-confirmed.html
4.https://exoplanets.nasa.gov/resources/300/2m1207b-first-image-of-an-exoplanet/
5.http://www.planetary.org/explore/space-topics/exoplanets/astrometry.html
6.https://blog.planethunters.org/2012/03/30/direct-imaging-of-planets/

 
Tagged :