ලස්සන බෝල ඇස් දෙක රවුමට හරවා
ඉස්වෙන කන් යුගල සුළඟක් සේ සොලවා
තිස්සෙම හිනාවෙන් ලස්සන මුව දුලවා
හිස්වෙන හැම මොහොත සෙනෙහෙන් නුඹ බැලුවා
මා එනතුරු බලා මග මුළු දින තිස්සේ
දුටු විට නැටුවා නුඹ නිල් තණකොළ බිස්සේ
මා පාඩමේ, නුඹ හිඳ කවුළුව අස්සේ
කළ කෝලම් වැඩයි මගෙ සරතැස පිස්සේ
ඩිංගක් රසට ඇති එක වේලට කෑම
උඩ පැන තුරඟ විලසින් පෑ දඟ බෝම
තාලෙට වනා වලිගය ආදර පෑම
කළ නුඹෙ හුරතලේ අමතක වෙනු කෝම
සතුට ද වෙහෙස, බය, දුක පිරි හැම කාලේ
නිරතුරු දැවටෙමින් හැමටම දී ආලේ
එහෙට ද මෙහෙට හැම තැන ගේ මැද සාලේ
මතකයි දුව පැනපු හැටි මට නුඹෙ බාලේ
කන්පෙති ලෙලවමින් මුණු මුණු මිමිණීම
රන් නිදහසකි ගෙන ආවේ හැමදාම
අන්තිම වරටවත් අප දෙස නොබලාම
යන්න ම ගියේ ඇයි මටවත් නොකියාම
Image courtesy: https://bit.ly/3vBodBh