නිදහස් සංවර්ධිත ශ්‍රී ලංකාවක්

Share

ත්‍රස්තවාදය ඉවරයි අප පෙලූ රට

කුමක් කළ යුතු ද දැන් අප මීළඟට

ත්‍රස්තවාදය යළි නැග නො එන්නට

සිරස් නැණින් කිස සැළසුම නො වෙද සෙට?

~ කලාශූරි අරිසෙන් අහුබුදු

දශක තුනකට අධික කාලයක් තිස්සේ අපේ රටත්, රටේ ජනයාත් පීඩාවට පත් කළ ත්‍රස්තවාදයට නැවතුම් තිත තබා අදට වසර 12 කි. තිස් වසරක යුධ ගිනි ජාලාවෙන් පිළිස්සී ගිය යටගියාව, පාඩමක් කොට ගෙන, ඒ අළු මතින් නැගී සිටින්නට පසුගිය දශකය තුළ අපි මහත් වූ පරිශ්‍රමයක් දැරුවෙමු. එය සැකවින් ම අභියෝගයක් විය. නමුදු, අරිසෙන් අහුබුදු ශූරීන් පවසා ඇති පරිද්දෙන් ම, ස්ථිරසාර වූ ඥානයෙන්, නිසි සැලසුමකින් කටයුතු කිරීම ම තිස් වසරකට පෙර පැවති නිදහස්, නිවහල් පින්බිම කරා අප රැගෙන යනු ඇත.

 

දේශයට මුර දේවතා එළියක් ව, රට ම්ලේච්චයන්ගෙන් මුදාගත් වීරෝදාර රණවිරුවන් අප නිති මෙනෙහි කරන්නේ හදපිරි ගෞරවයෙනි. ඔවුනට අපි සදා ණයගැති වෙමු. බුදුන් වැඩි පින්බිම, රණබිමක් බවට පත්වෙද්දී, අප වීර දූ පුතුන්, සිතින් ධෛර්යය ද අතින් අවිය ද ගෙන, පියවර මැන්නේ රට මුදා ගන්නා සිහිනය අවිය අතරින් දකිමිනි. මඩ ගොහුරු, වන ලැහැබ පසු කර, නිදා නො නිදා රැය පහන් කරමින්, මාරයා අභිමුව අභීත ව නැගී සිටියේ ස්වජාත්‍යාලය, ස්වලබ්ධ්‍යාලය සිත් සතන් තුළ පෙරදැරිව ය. අද අප බියෙන් තොර ව දෙපයින් නැගී සිටින්නේ ඔවුනගේ රුහිරයෙන් තෙත් වූ භූමියෙහි බව අපට කිසි දා අමතක කළ නො හැකි ය.

එබැවින්, දැන් අපට කිරීමට ඉතිරි ව ඇත්තේ දිනූ නිදහස රැක ගනිමින්, මුළුගැන් වී තිබෙන දෑත් දිගහැර, මෙපින්බිම සංවර්ධනය කරා ගෙන යන ඉලක්ක සපුරාලීමට කටයුතු කිරීමයි. සංවර්ධනය හා නිදහස වූ කලී එකිනෙකට අනුලෝම ව යන පද දෙකකි. එනම්, රටක් නිදහස් නම් එම රටට සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම පහසු වන අතර ම රටක් සංවර්ධනය වන තරමට ම නිදහස ද තහවුරු වේ. එලෙසින් නැගී එන භෞතික, මානව, පාරිසරික හා ආධ්‍යාත්මික දියුණුව නිසා ම, තෙවැනි ලොව සංවර්ධනය වෙමින් පවතින අපි සංවර්ධනයේ නිම් වළලු පුළුල් කරමින් පියාසර කරන්නෙමු.

කාලයේ සැඩ සුළඟට යුද්ධයේ බොහෝ අමිහිරි මතක ගසා ගෙන ගිය ද, ඇතැම් අවශේෂ අදටත් ඉතිරි ව තිබීම බිය දනවන්නකි. මෑත කාලීන ව අපට අසන්නට ලැබෙන ඇතැම් සිදුවීම් ජනවාර්ගික අර්බුද සඳහා අර අදින්නක් බව පසක් වේ.

අපගේ පාසැල් පෙළ පොත්වල සඳහන් ව තිබූ පැදි පෙළක් නිතැතින් ම සිහියට නැගේ; “අපි එක් වෙමු එක මවකගෙ දරුවෝ එක නිවසේ වෙසෙනා. එක පාටැති එක රුහිරය වේ, අප කය තුළ දුවනා. එබැවින් අපි වෙමු සොයුරු සොයුරියන්…….” එකම රත් පැහැ රුහිරය ගලනා, ලක් මව් නිවහනේ වෙසෙනා සහෝදර සහෝදරියන් බදු වූ අපි, මෙලෙස පුහු පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමෙහිලා ජන වර්ග වශයෙන් නැගී සිටීමෙන් හෝ බෙදී සිටීමෙන් අත්වන ඵලක් නැත. එය සමස්ත ලෝක සත්වයාට ම පොදු වූ ධර්මතාවයක් බව අමුතුවෙන් කිව යුතු නැත. කිසිදු ආගමක් හෝ දර්ශනයකින් හෝ එවැන්නකට පිටු බලයක් ලබා නො දෙනු ඇත.  නමුත් කඩාකප්පල්කාරී පිරිස්වල යටි අරමුණු මුදුන් පමුණුවා ගැනීමටත්, සිය මාධ්‍ය උණු කැවුම් සේ පතළ කරවා ගැනීමටත් ප්‍රයත්න දරන පිරිස්වලට ජනවාර්ගික අර්බුද අතකොළු ලෙස ක්‍රියාත්මක වන බව නො රහසකි.

‘ජාතිවාදය’ පෙරමුණෙහි ලා සටන් පාඨ කරපින්නගෙන අමුතු රැඟුම් පෑම අප හට සුදුසු නො වේ. අධිපරිභෝජනවාදී වෙළඳ යාන්ත්‍රණයේ ගිලෙමින්, ව්‍යාජ පුරුෂාර්ථ කරපින්නගෙන ආගම, ජාතිය බිල්ලට දී යන මේ අවලම් ගමනෙ ගමනාන්තය, විනාශය ම මිස අන් කිසිවක් නො වන බැවින් හදවතින් නො ව බුද්ධියෙන් සිතා බලා කටයුතු කිරීමට කාලය එළඹ ඇත.

වරක් ගාන්ධිතුමා පැවසූයේ, මහත් වෙර යොදා දිවි පුදා ලබා ගත් නිදහස පණ මෙන් රැක ගැනීමටත්, රැකගත් නිදහස් රට සංවර්ධනය කරා යොමු කරලීමත් අපේ එක ම පැතුම කරගත යුතු බවයි. සංස්කෘතික සහයෝගීත්වය, ස්වෛරීත්වය හා යහපත් ආකල්ප තුළින් මෙපින්බිම මිනිස් වාසයට සුදුසු සුන්දර නිවහනක් බවට පත් කිරීමට ලක් දූ පුතුනට හැකි වේවා’යි පතමු. ඒ සඳහා අපට කළ හැකි යුතුකම් ඉටු කිරීමට කැප වෙමු.

 

සේයා රූ : තනුජ් දර්ශන

 
Tagged : / /