යතුර

Share

ලෞකික සැප සම්පත් කෙරෙහි අසීමිත ලෙස බැඳුණු මිනිසා සාරධර්ම, යුතුකම් හා වගකීම්වලින් තොර වූත්, වස්තු මදයෙන්ම මත් වූත් අනවරත ගමනක නියැළෙමින් සිටියි.

එවන් අවාසනාවන්ත කතාන්දරයක් මෙලෙසින් පැදි පෙළකින් ඉදිරිපත් කෙරේ…

 

තවරා සුවඳ විච්චූරණ සළු පාලී

සරසා රුවට පිසදා මකමින් දූලී

රවටා ලොවට පාවඩ බැඳ රන් දෝලී

පවරා ගන්න මහ ගෙට පියවර ලේලී

 

පරලොව ගොහින් නැන්දම්මා සත් මසකි

මාමා තනිව මහගෙයි සිටි සති පහකි

නූපන් සෙනේ දැන් ඉපැදී ඇති සෙයකි

ලේලිට ඉතිං මාමා පින් රන් කඳකි

 

දුරකථනයෙන් පණ දෙන්නට අමතමිනේ

කලබල සිතින් දුක සැප තතු විමසමිනේ

ළෙංගතු බසින් පිදෙනා රස ඇමතුමිනේ

කතිකා කරන් යන ගමනකි සැලසුමිනේ

 

තව ටික දොහයි මුන්දැත් පරලොව යනවා

වලව්හාමි ගාවම බිම සැතපෙනවා

ඒ ටික දොහත් මේ විදියට ඉවසනවා

මහගෙයි යතුර මගෙමයි මට හිමි වෙනවා

 

බොර පැහැ දියේ මාළු හොඳට අල්ලන්න

ගිනි කඳ මැදින් සුරුට්ටුවක් දල්වන්න

කල දුටු කල නොපමා වළ ඉහගන්න

මාමේ ඔයත් යන තැනකට සැරසෙන්න

 

Image Link: https://bit.ly/2Ih9OF

 
Tagged : / /