මතකය ඈතින් ඈතින් ඈතට ම ඉගිලිලා ගියා…
කලක් වයසක් නොදන්නෙමි පෙර මතක අවරට යති මැකී
මලක් පහනක් නොඇල්ලුවෙ නෑ, වරුවකුත් දිවියෙහි මෙකී
පෙළක් දවසක් ගතවුණා තනියම ම මෙහි මම පමණකී
මිලක් මුදලක් අත නැතත් ලද පින් හුඟකි සතුටින් රැකී
එදා දිව රෑ නොමැරි මැරි මැරි පිළිම ගෙයි ඉදි කළ හැටී
බදාමෙත් තව ගඩොල් ගල් වැලි අනා පිරියම් හුනු මැටී
මෙදා පෙනෙනා විටදි උවැසියො වඳිනු බැති සැදැහෙන් වැටී
නිදා සිටි රැයෙ සිහිනෙනුත් තුසිතයෙනි එන ඇරයුම් වටී
පෙරහැරින් වැඩමවා ඉන්දුව, ගමේ පුදසුන බෝධි රාජා
හරසරින් පහදවා නමදිති බැතිමතුන් මහ සාර පූජා
මගෙ අතින් රැක බලා ගත් හැටි අව් සැරක්වත් නොවැදි තේජා
හදවතින් තව නිවෙමි සැනහෙමි පින් කෙතක් මම කළෙමි බීජා
හත්වසයි යම්තමට පිරුණේ කුලගෙයින් පොඩි පැටියෙකී
අත් දෙකයි මුදු ළපටි සුවඳම පව් අනේ කිරි කැටියෙකී
බත් කටයි මම හොරෙන් කැව්වේ දරු සෙනේ පිරි සුවයෙකී
ඇත්තමයි අද පිරිවෙනේ දැන උගත් හොඳ ගුරුවරයෙකී
සවන වැකුණෙ නිබඳ ව දම් රස අමා
වුවන දිලුණෙ පුන් සඳ රන් ගිර නමා
නුවණ රැඳුණෙ දන් පින් යහපතෙ තමා
පවන නිවුණෙ හදවත නොකර ම පමා
Image courtesy: Author