සිංහබාහු

Share

මතක ද එදා, සිංහබාහු ගල්ලෙන බිඳිනවා ?

කාලාන්තරයක් තිස්සෙ, ඒ හිතේ කැකෑරෙමින් තිබුණු ආවේගයෙ, කළකිරීමෙ එහෙමත් නැතිනම් අප්‍රසාදයේ කූටප්‍රාප්තිය තමයි ඒ.

එදා, තරුණ සිංහබාහුගෙ පපුවෙ තිබිච්ච තරහව, මෙන්න මේ වගේ වෙන්න ඇති නේද කියලා, සිංහබාහු කතාව රස විඳින අපිට නොදැනිම වගේ දැනුණා.

 

රැයක් දහවලක් කියලා නෑ කිසි වෙනසක්

පිටත සරන්නට ලැබිලා නෑ එක දවසක්

මස් බුදිනා සිංහයෙකුට කොයින්ද පපුවක්

නරක විතරමයි කෙරුවේ කරාපු තරමක්

 

මස් ගිල ගිල කට පුරාම ලේ ගඳ පිරුණු

උල් නියපොතු ඇඟ වටේම කේසර වැවුණු

තිරිසන් හදවත රාගෙන් උමතුව බැඳුණු

දාව උපන්නේ කෙලෙසද මම වී පුතණු

 

රජ මැඳුරේ පෙළපත සම්පත් පිරිවර තියෙද්දී

අඳුරු ලෙනක සෝ දුක් මැද හොඳම වයස ගෙවෙද්දී

කොටු කරාපු වටපිටාව යම්තම් වගෙ පෙනෙද්දී

පුදුම තරම් තරහකි අම්මේ මේවා හිතෙද්දී

 

තුන්සිය හැටපස් දවසෙම අපිව ඇතුළෙ රන්දා

දවල් පුරා ඔය තරමට කොහෙ යනවද මන්දා

තවත් ගෑනියෙක් මෙලහට ගෙන්නා ඇති කැන්දා

ඉවසන්නේ මම තවමත් නංගි පුංචි හින්දා

 

රටතොට වටපිට විඳින්න වරම් නැති

අම්මට නංගිට මෙහි කිසි සුවක් නැති

අසරණකම හින්දම අපි උනා ගැති

සොළොස් වසක් හැම දේ ඉවසුවා ඇති

 

ළං වෙන්නත් බෑ මට මහ හිරිකිතයි

අම්මාටත් වූ ඉරණම හරි දුකයි

තරුණ මගේ නංගිත් රකිනට නිසයි

ලෙන බිඳිනව නුදුරෙම මම ඇත්තමයි

 

පීතෘඝාතක සිංහබාහු ‘වැරදි’ කියන්නවත්, ‘හරි’ කියන්නවත් නම් නෙමෙයි. ගල්ලෙන බිඳින්නම ආසන්නම කාලයෙ ‘සිංහබාහු හිත’ ගැන සියුම් සොයා බැලීමක් කරන්න තමයි අපි මේ පුංචි නිර්මාණයෙන් බලාපොරොත්තු උනෙ.

දකින්න විඳින්න නිවෙන්න !!

 

Image Courtesy: https://cutt.ly/Ykqsfdn

 
Tagged : / / /