මා ඉවෙන් මෙන් තල්ලු වී ගියේ කැවුම් කොකිස් සුවඳ හමා ආ අත්තම්මාගේ මුළුතැන්ගෙය දෙසටයි. තාච්චිය මැද්දේ නටන කැවුමට කොණ්ඩය තබමින් සිටි අත්තම්මාගේ වම් පසින් තිබුණේ කොත ගැසූ කැවුම් වට්ටියයි. කැවුමක් අතට ගත් මම ද අත්තම්මා අසළ ම හිඳගෙන කැවුමේ රස බලන්නට වූයෙමි. ඒ රස සහ සුවඳ මා මේ තරම් නිමක් නැති සිතිවිලි කන්දක අතරමං කරවන්නට තරම් සමත් වේ දැයි මට ම පුදුමයකි.
විස්සයි විස්ස කෙසේ වෙතත් විසිඑකේ අලුත් අවුරුද්ද ජයට ම සමරන්නට කොයි කාටත් ඇත්තේ නොඉවසිල්ලකි. සිංහල දෙමළ ජනතාව බක් මාසයේ දී සූර්ය දිව්‍ය රාජයා සිහිකොට පවත්වන මංගල්‍යය සිංහල දෙමළ අලුත් අවුරුද්දේ මූලාරම්භයයි. සිංහල නක්ෂත්‍රයට අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ප්‍රවේශ වීම නව වසරේ උදාව ලෙස සැලකෙයි. සාමය, සෞභාග්‍යය, සාමුහිකත්වය ඔප් නංවන ජන සමාජයේ මුල් බැස ගත් අලුත් අවුරුද්ද ආගමික සංස්කෘතික හා සාමාජයීය වශයෙන් ද ඒකාබද්ධ වූවකි. සිංහල දමිළ චාරිත්‍ර වාරිත්‍ර පද්ධතියක් හා ඒකාබද්ධ ව සැමරෙන මේ මහා මංගල්‍යය ගහකොළ සතා සිව්පාවා ද වැළඳ ගන්නේ බොහොම උජාරුවෙනි.
පුංචි අවදියේ මා අත්තම්මාගේ ගමට ගියේ ද අවුරුදු කාලයේ දී ම යි. ඒ ගම්මානයේ දෙවැට එරබදු ගසින් හැඩ ව තිබූ සිතුවම අදටත් මගේ හදවතට ගෙන දෙන්නේ අපූරු ආස්වාදයකි. අද කොළඹ සිව්දෙස ගිජු හඬින් මොරදෙන කපුටා මෙන් නොව බක් මහේ ගම්මානයේ එරබදු කිනිති අස්සේ පෙනී නොපෙනී කොහා නද දෙන්නේ ” අපටත් අවුරුදු ජයයි ” කියන්නා වාගෙයි. අටුකොටු පිරෙන සිත්වල කිරි උතුරන නෑදෑ හිතමිතුරුකම් අලුත් වන මේ කාලයට ගම්මැද්දේ නාඹර තරුණයින් අර අදින්නේ අවුරුදු කුමරියට ඉඟි බිඟි පාන්නට ම යි. අවුරුදු උත්සව, තෑගි බෝග නිමක් නැත්තේ ය. බුලත් හුරුල්ලට නම් ඉස්පාසුවක් ඇත්තේ ම නැත.
” ළමයෝ ” ඒ අත්තම්මා යි.
ලිප තැබූ තෙල් තාච්චිය ලිපෙන් බාගන්නට ඈ මා වෙත බාර කළා ය. එතෙක් මා තනි ව වින්දේ අලුත් අවුරුද්දයි. ඒ සිරි අසිරිය විඳිමින් වැඩ අල්ලන නැකතේ ගසක් සිටුවා ජීවයට අත්වැලක් වෙන්නට දායක වෙමු.
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!
Image courtesy :