මානව ගමන් මග වෙනස් කල අපූරු චාරිකාව-4

Share

 

පෙර ලිපියේදි ආපසු එන ගමනේදි ශැන්ග් චියෑන් ඇතුළු කණ්ඩායම නැවතත් ශියොන්ග්නු ග්‍රහණයට අසු වූ බවත් ඔහුව මරණයට දින නියම කරනා තෙක් සිර ගත කළ බවත් පැහැදිලි කරන ලදී.

ශැන්ගි ච්යෑන් නැවත මව් බිමට ලගා වීම
මෙලෙස සිරගත වූ ශැන්ග් චියැන් වසරක ආසන්න කාලයක් සිරගත දිවිය ගත කරන ලදී. නැවතත් වාසනාව ශැන්ග් චියෑන් වෙත පැමිණෙන්නේ ශියොන්ග්නු සංයුක්තයේ ඇති වෙන බල අරගලයක් හේතුවෙනි. ඒ පෙර චන්යුගේ (ජුන්චෙන් චන්යු- Junchen Chanyu)  සහෝදරයා වූ යිෂිචියේ (පසුව යිෂිචියේ චන්යු ලෙස බලයට පත් විය .-Yizhixie Chanyu) ඒ වන විට පාලකයා වූ පෙර චන්යුගේ පුත් යුඩන් (Yudan) වෙතින් නායකත්වය උදුරා ගැනීමට උත්සාහ ගැනීම හේතුවෙන් අභ්‍යන්තර අරගලයක් පැන නැගීමයි. මේ අරගලය හොදින් ප්‍රයෝජනයට ගන්නා ශැන්ග් චියෑන් සිර මැදිරියෙන් පලා යන අතර මෙහි දී ඔහුගේ බිරිඳ, දරුවා හා ඔහුගේ යාවජීව සේවක ගැන්ෆු පමණක් මෙම ගමනට එක් වේ. එලෙසම ඔහු ගමන පුරා ම ප්‍රවේසමෙන් රැගෙන ගිය රාජකීය ඡත්‍රය ද මෙම ගමනට එකතු කර ගන්නට ඔහු අමතක නොකළේ ය. මෙලෙස පලා යන කණ්ඩායම අවසන ක්‍රිස්තු පූර්‍ව 126 දී පමණ හන් රාජධානි සීමා වෙත ලගා වෙන අතර 100 දෙනෙකුගෙන් ඇරඹුනු ගමන අවසන් වන්නේ මුල් කණ්ඩායමේ දෙදෙනෙකුගෙනි. එලෙස ගමන අවසන් කර හන් රාජ සභාවට යන ඔහු ව වූ අධිරාජයා විසින් මහත් හරසරින් පිළිගැනීම සිදු වේ.

හන් රාජ සභාවේ දි තම අත්දැකීම්, තමා දුටු දෑ, තමා ඇසූ දෑ පවසන ශැන්ග් චියෑන් එකල ලෝකය පිලිබද චීනය තුල තිබූ දැක්ම වෙනස් කරන ලදී. මෙම විස්තරය ඇසු හන් අධිරාජයා ශැන්ග් චියෑන්ව මහා දූතයා (Great Messenger ) (තවත් තැනක මහා සංචාරකයා (Great Traveller)  ලෙස තනතුරු පිදූ බව දැක්වේ.) යන තනතුරින් පුදන ලද අතර ඔහුගේ ගමන පිලිබද සම්පූර්‍ණ වාර්‍තාවක් සකසන ලෙස එකල Grand Historian පදවිය දැරූ සිමා චියෑන්ට නියෝග කරන ලදි.

ඇල්ෆල්ෆා බීජ හා පැළ සහිත බදුනක්.මෙය සත්ත්ව(අශ්වයන් වැනි ) ආහාරයක් ලෙස බහුලව භාවිතා වේ.

එලෙසම ඔහු මෙම ආපසු එන ගමනේදි එකල මධ්‍යම ආසියානු කලාපයේ සරුවට වැවුණු මිදි, දෙළුම්, වොල්නට් (Walnut)  හා ඇල්ෆල්ෆා (Alfalfa) බීජ කිහිපයක් රැගෙන ඒමට ද අමතක නොකළ අතර ඒ හරහා එකල චීන සමාජයෙන් ගිලිහී යමින් තිබූ මිදි වලින් වයින් සෑදීමේ කලාව නැවතත් පිබිදීමට ලක් විය.

ෂූ ශිල්ප කලාවෙන් නිර්‍මාණය කල රෙදි කඩක්

එපමණක් නොව මෙම යුගය වන විට බුදු දහම මධ්‍යම ආසියානු කලාපය පුරා වේගයෙන් පැතිරී යමින් තිබූ අතර විශේෂයෙන් ග්‍රීක සම්භවයක් සහිත ග්‍රීක-බ්‍රැක්ටෝ කණ්ඩායම් මෙම දහම වැළැද ගැනීමෙහිලා විශේෂ උනන්දුවක් දැක්වීය. එලෙසම මෙකල වන විට බුදු දහම විවිධ දාර්ශනික කණ්ඩායම්වලට බෙදී වෙන්වී තිබූ අතර විශේෂයෙන් ග්‍රික ආභාෂය බුදු දහමට ලැබෙමින් තිබුණි. ඒ අනුව ශැන්ග් චියෑන්ට මෙම ගමනේ දී බෞද්ධ දාර්‍ශනිකයන් මුණ ගැසුණු අතර ඔවුන්ගෙන් මෙම දහම පිළිබඳව අවබෝධයක් (විශේෂයෙන් ග්‍රීක ආභාෂිත බුදු දහම) ලැබූ අතර ඒ පිළිබඳ සඳහන් පත පොත ද මෙම ආපසු එන ගමනේ දී රැගෙන විත් තිබිණි. මෙම පොත් ඉක්මනින් ම චීන ජනයා අතරට ගිය අතර ඒ ඔස්සේ චීන ජනයාගේ ආධ්‍යාත්මය හා සංස්කෘතිය වෙනස් කළ තෙවන බලවේගය වූ බුදු දහම චීනය තුළ ස්ථාපිත වීමේ මුල් ම අඩිතාලම නිර්මාණය විය. (මන්දයත් චීනයට බුදූ දහම නිල වශයෙන් ලැබෙන්නේ තව කාලකට පසුවය.)

මෙම වාර්‍තා අනුව තම දේශයේ නිෂ්පාදනයන්ට (විශේෂයෙන් ෂූ රෙදිපිළි- Shu Brocade ) බාහිර ලෝකයේ ඇති ඉල්ලුම වටහා ගන්නා අධිරාජයා ශියොන්ග්නු බලපෑමෙන් තොර වෙළද මඟක් තැනීමට සැලසුම් කරන ලදී. ඒ සදහා චන්ග’න් සිට දකුණින් වූ මඟක් ඔස්සේ එනම් වර්‍තමාන වියට්නාම, කාම්බෝජ, තායිලන්ත සීමා හරහා බංගලාදේශය ඔස්සේ ඉන්දියාවට ගමන් කොට සින්ධු භූමිය වෙත ලගා වීම මෙම මඟේ අපේක්ෂාව විය. නමුත් එකල හන් දේශයට දකුණින් වූ නන් යු’එ රාජධානි(Nan Yue-Southern Yue) හා සන්ධාන ගත ඩියන් (Dian) හා අයිලාඕ (Ailao) ප්‍රදේශිය රාජ්‍ය (මෙම රාජධානි මෙකල හන් රාජධානිය දකුණට සිදු කළ චාරිකා වල දී හමු වූ නව භූමින් විය ) වලින් මෙම ගවේෂණය බාධා කිරීම හමුවේ අසාර්‍ථක වූ අතර මෙය අධිරාජයාගේ උදහසටත් මෙම රාජ්‍ය සහමුලින් අතුගා දැමීමේ වරෙන්තු නිකුත් කිරීමටත් හේතු විය.

පළමු උත්සාහය ව්‍යාර්‍ථ වුව ද බටහිර වෙත යාමට ආරක්ෂිත මඟක් සොයා ගැනීමේ උත්සාහය අත් නොහරින අධිරාජයා තම මූලික අරමුණ වූ ශියොන්ග්නු සංයුක්තය තම දේශ සීමා වලින් පන්නා දැමීම සඳහා ප්‍රබල සේනා ගොඩනැංවීමක් සිදු කළ අතර ඔවුන් සමඟ දිගු යුධ ප්‍රයාණයක නිරත විය. මෙකී සංග්‍රාමයෙහි එක් අන්තයක සේනා භාරව කටයුතු කිරීමට මෙම ගෝත්‍රිකයන්ගේ ස්වභාවය මැනවින් දන්නා ශැන්ග් චියෑන්ට සිදු විය. එනමුත් සේනාවන් නියමිත ඉලක්කයට අදාළ අවස්ථාවේ ලගා විය නොහැකි වූ නිසා ඔහුගේ අන්තය දරුණු පරාජයකට ලක් විය. මේ පිළිබඳව අසා උදහස් වූ අධිරාජයා ශැන්ග් චියෑන්ගේ සියලු තනතුරු අහෝසි කර ඔහු සාමාන්‍ය පුරවැසි තත්වයට ඔහුගේ සමාජ තත්වය නෙරපීය.

හෙක්’සි කොරිඩෝරයේ පිහිටි ඩෆෝ(Dafo) පන්සල

කෙසේ වුවත් ශැන්ග් චියෑන්ගේ තොරතුරු පදනම් කර ගනිමින් බටහිර කලාපයේ පැවති රාජධානිවලින් ජවාධික අසුන් සපයා ගන්නා අධිරාජයා ඒ හරහා ප්‍රබල අසරු බලකායක් හන් හමුදාව තුළ නිර්‍මාණය කළ අතර මෙකී සේනාවන්ගේ ද සහයෙන් සිදු කරගෙන ගිය දිගු යුධ ප්‍රයාණය අවසානයේ දී ශියොන්ග්නු ගෝත්‍රය සිය රාජධානියේ උතුරු සීමා වලින් වඩාත් උතුරටත් , බටහිරටත් පලවා හැරීමට සමත් විය. මේ හරහා තරීම් නිම්නය හා සෘජුව සම්බන්ධ වන හෙක්’සි -Hexi Corridor (වර්‍තමානයේ ගැන්ෂු -Gansu) තීරුව ශියොන්ග්නු ග්‍රහණයෙන් මුදවා ගැනීමට හන් රාජධානියට හැකි වූ අතර මේ හරහා චීන ජාතිකයන්ට බටහිර රාජ්‍යයන් වෙත ලගා විය හැකි වඩා ආරක්ෂිත මඟක් හිමි විය.මේ හරහා බටහිර හා සෘජුව වෙළෙද ගනුදෙනු කිරීමේ අවස්ථාව චීන ජාතිකයන්ට හිමි වූ අතර මෙය සේද මාවත නිර්‍මානය කිරීමේ තීරණාත්මක සිදුවීමක් විය.

ශැන්ග් චියෑන්ගේ දෙවන බටහිර ගමන

ශියොන්ග්නු ගෝත්‍රිකයන්ගේ මෙකී අන්ත පරාජයත් සමග කලාපයේ විශාල දේශපාලනික හිස්තැනක් හිමි වන අතර, මෙම ගැටුම හරහා තම දේශ සීම පුළුල් කර ගන්න හන් රාජ්‍යයට එයට බටහිරින් හා උතුරින් වූ ලොකු කුඩා ගෝත්‍රයන් තමන් වෙත නම්මවා ගැනීමේන් එකී දේශපාලනික හිස්තැන පිරවීමට අවශ්‍ය විය. විශේෂයෙන් හෙක්’සි කොරිඩෝරය හරහා බටහිරට යන ආරක්ෂිත මඟක් නිර්‍මාණය කිරීමෙහි ලා මෙය ඉතා අත්‍යවශ්‍ය සාධකයක් විය. මෙම හේතුවෙන් අධිරාජයා රාජ තාන්ත්‍රිකයන් පිරිසක් බටහිරට යැවීමට බලාපොරොත්තු වූ අතර මේ වන විට සාමාන්‍ය වැසියෙක් දක්වා තනතුරින් පහ වූ ශැන්ග් චියෑන් මෙහි නායකත්වය ගැනීමට ස්ව කැමැත්තෙන් ඉදිරිපත් විය.

ඒ අනුව ක්‍රිස්තු පූර්‍ව 119 දී පමණ 300 ක ගෙන් යුතු රාජතාන්ත්‍රික පිරිසක් සමග පිටත් වන ඔහු මෙවර වුසුන් වෙත ලගා වන අතර ඔහුගේ විශිෂ්ඨ රාජ තාන්ත්‍රික ඥානය හමුවේ මෙම ගෝත්‍රය හා ඒ අවට ලොකු කුඩා ගෝත්‍ර රැසක් හන් රාජ්‍යයට පක්ෂපාති, මිත්‍රශීලි කණ්ඩායම් බවට පත් කර ගැනීමට හැකි විය.එලෙසම මෙම ගමනේ දි හෙතෙම තම සහයක රාජ තාන්ත්‍රිකයන් අවට තිබූ ඩායුවානය, ඩක්’සියා, කන්ග්ජු, සෙන්ඩු, අන්ක්’සි ප්‍රදේශවලට ද යවමින් කලාපයේ රටවල් හා මිත්‍රත්වය ගොඩ නඟා ගැනීමට උත්සාහ කළ අතර මෙම ගමනේ ප්‍රතිඵලයක් ලෙස වුසුන් නියෝජිතයන් 10 දෙනෙකු හන් අධිරාජයා හමුවට රැගෙන යාමට ඔහු සමත් විය.මෙම ගමනේ සාර්‍ථකත්වය හේතුවෙන් අධිරාජයා නැවතත් ඔහුව සිය තනතුරු වල පිහිට වූ අතර බෝවෙන් වංශාධිපති (Marqius of Bowen)  තනතුර හෙවත් උසස්ම වංශාධිපති තනතුර ද පිරිනමන ලදී.

ග්‍රීක කලාපයන්හි බුදු දහම ව්‍යාප්තිය පිලිබදව සදහන් අශෝක අධිරාජයාජයාගේ කන්දහාර් සෙල්ලිපිය

මේත් සමග චීන ජාතිකයන්ට බටහිරට පිවිසීම සදහා ආරක්ෂිත මඟක් හිමි වූ අතර කලාප දෙක අතර ක්‍රමයෙන් වෙළෙද සබඳතා මේ හරහා ගොඩනැගීම සිදු වුණ මුත් මෙම මඟ ඔස්සේ ප්‍රථම ගනුදෙනුව සිදුවීමට තව වසර ගණනක් ගත වූ අතර එම ගනුදෙනුව චීනය හා බටහිර සම්භවයක් සහිත ජනතාවක් අතර ඇති වූ පළමු ගැටුම බවට පත් විය. මෙම ගැටුම ‘අජානේ අසුන් පිළිබඳ යුද්ධය (War of Heavenly Horses)’ ලෙස ලෝක ඉතිහාස ගත වූ අතර මේ හරහා නිල වශයෙන් හන් රාජ්‍යය ඩායුවානය සමග වෙළෙද ගිවිසුමක් නිර්මාණය විය. ඒත් සමඟ බටහිර හා හන් රාජ්‍යය අතර සෘජු වෙළෙද ගනුදෙනු ඇති වූ අතර මෙය සේද මාවතේ ඇරඹුම විය. නමුත් මෙම සිදුවීම දැකීමට තරම් වාසනාවක් නොලද ශැන්ග් චියෑන් ක්‍රිස්ත් පූර්‍ව 114 දී මෙලොවෙන් සමු ගත්තේ ය.

ලෝක දේශ ගවේෂකයන් පිළිබඳ විස්තර සලකා බැලීමේදී ශැන්ග් චියැන් නාමය විශිෂ්ටතම දේශ ගවේෂකයන් හා සම තැන් ගන්නා බව නොපිලිහා කිව හැකි ය.

මූලාශ්‍ර

  1. Gargi. (2023, March 14). Who is Zhang Qian and why is he so significant?. Son Of China. https://sonofchina.com/who-is-zhang-qian-and-why-is-he-so-significant/?expand_article=1
  2. Zhang Qian and silk road. Zhang Qian and Silk Road, Zhang Qian’s Expedition to the West. (n.d.). https://www.topchinatravel.com/silk-road/zhang-qian-in-silk-road.htm
  3. Zhang Qian. Zhang Qian, Travelers and Pioneer of the Silk Road. (n.d.). https://www.travelchinaguide.com/silk-road/history/zhangqian.htm
  4. Wikimedia Foundation. (2023, November 1). Yizhixie. Wikipedia. https://en.wikipedia.org/wiki/Yizhixie
  5. YouTube. (2020). YouTube. Retrieved November 19, 2023, from https://www.youtube.com/watch?v=Y5KwhAqJSOw&list=PLTWtVUzAvZ3r_NUCKDxGRsP6yraV35g6b.
  6. YouTube. (2018). YouTube. Retrieved November 19, 2023, from https://www.youtube.com/watch?v=g6Rphg_lwwM.

Image Courtesies :

 
Tagged : / / / / / / /