එදා කෝඩුකාරයින් වූ ඔවුන්, තවදුරටත් එසේ නොවන්නේය…..

Blog Team 0 Comments

කෝඩුකාරයෙකු කියූ පමණින් ඔබට මුලින්ම සිහියට නැගෙන්නේ ශ්‍රී පාදස්ථානය මුල් වරට වැඳ පුදා ගන්නා බැතිමතෙකු වන්නට පුළුවන්. හැබැයි මේ ලියන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ කෝඩුකාරයින් පිරිසක් ගැන.

කතාව පටන් ගන්නේ මීට අවුරුදු කිහිපයකට කලින්… හරියටම කිව්වොත් වසර 1832 දී… ඒ කියන්නේ කොළඹ ක්‍රිකට් සමාජයේ ආරම්භයත් සමඟින්… ක්‍රිකට් කියූ පමණින් කෝඩුකාරයෝ පිරිස කවුරුන්ද යන වග ඔබේ සිහියට නැගෙනවානම්,  නිසැකයෙන්ම උඹත් මං වගේම ක්‍රිකට් පිස්සෙක් තමයි…

වසර 1832 දී අපේ රට සුද්දාගේ යටත් විජිතයක් ලෙස පවතින සමයේ දී, සුද්දාගෙන් අපිට ක්‍රිකට් පාඩමක් ලැබුණත්, වසර 1975 වනතුරුම ජාත්‍යන්තර තරඟයක් ක්‍රීඩා කරන්නට අපේ ක්‍රිකට් කෝඩුකාරයින්ට අවස්ථාවක් උදා වුණේ නම් නැහැ.

වසර 1975 දී එකල ලෝක පූජිත ක්‍රිකට් තරු රැසකින් සැදුම්ලත් කොදෙව් කණ්ඩායම අපගේ ප්‍රතිවාදීන් බවට පත්වන්නේ ශ්‍රී ලාංකිකයන් වන අප හට මහත් වූ චකිතයක්, බියක් ඇති කරවමිනි. ඒ වෙන කිසිත් නිසා නොව ඔවුන්ගේ හැඩි දැඩි ශරීර සතු වූ දක්ෂතාවය සහ ක්‍රීඩාශීලීත්වය නිසාවෙනි. කෙසේ වෙතත් කොදෙව්වන් එම තරඟය පහසුවෙන් ජයග්‍රහණය කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආධිපත්‍ය තවදුරටත් ඔවුන් සතු බව මුළු ලොවටම පසක් කරමිනි. ඒ එංගලන්තයේ මැන්චෙස්ටර් හීදී ය. වසර 1981 දී ලොවම මවිත කරමින් අපේ කෝඩුකාරයින් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගන්නට සමත් වන්නේ එකල අප ක්‍රීඩකයින් තුළ වූ උනන්දුව, කැපවීම නිසාම ය.

එසේ වුවද… සෑහෙන කලක් ජයග්‍රහණයක පිපාසයෙන් ඇඟිලි ගණන් කරන්නටත්,  කල් මරන්නටත් සිදුවුණි. 1982 දී සිය මංගල ටෙස්ට් තරඟය ක්‍රීඩා කළ අපේ කෝඩුකාරයින් එංගලන්තය හමුවේ පරාජය වන්නේ බන්දුල වර්ණපුර ගේ නායකත්වය යටතේය. එනමුදු ජයග්‍රහණයේ බලාපොරොත්තු දල්වමින් වසර 1985 දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදන්නට සමත් වන්නේ ශ්‍රී ලාංකීය ක්‍රිකට් අනාගතයට නැවුම් බලාපොරොත්තු රැසක් එක් කරමිනි. එසේ ඇරඹුණු ජයග්‍රාහී සිංහ සෙයියාව වසර 1996 දී එහි උච්චතම අවස්ථාව කරා ළඟා වනුයේ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සිය මව් රටට දිනා දීමට අර්ජුන රණතුංග ප්‍රමුඛ අපේ සිංහ පෝතකයින්ට හැකියාව ලැබීමත් සමඟිනුයි. එකල් පටන් විවිධ පුහුණුකරුවන්, නායකත්වයන් යටතේ පිටියට පිවිසෙන මේ කෝඩුකාරයින්, මුළු ලෝකයටම ක්‍රිකට් උගන්වන්නට පටන්ගන්නේ අපේ ක්‍රිකට් ගුරුන් වූ සුද්දන්වත් මවිත කරවමිනි.

මේ වන විට ටෙස්ට් තරඟ 269 කටත්, එක්දින තරඟ 816 කටත්, T20 තරඟ 104 කටත් ක්‍රීඩා කර ඇති මේ කෝඩුකාරයින් තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවෙහි කෝඩුකාරයින් නොවන බව පසක් කරමින්, වසර 2014 දී නැවතත් සිය අභිමානය ලොවට විදහා පානුයේ, T20 ලෝක කුසලානයත් ශ්‍රී ලාංකීය මාතාව සන්තකයේ බව පසක් කරමින් බංග්ලාදේශයේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයත් සමඟිනි. ඒ ලසිත් මාලිංගගේ නායකත්වය හමුවේ වීම විශේෂත්වයක්. මේ කෝඩුකාරයින් ලෝක කුසලාන අවසන් මහා තරඟ කිහිපයකටම සුදුසුකම් ලැබුව ද, ඉහත අවස්ථාවන් යුගලය හැරුණු විට අනෙක් සෑම අවස්ථාවකදීම පරාජිත අන්තයේ කඳවුරු බඳින්නට සිදුවන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ වූ අවිනිශ්චිත බව නැවත නැවතත් අප හට පසක් කරවමිනි. කෙසේ වෙතත් මේ වන විට පස් වතාවක් ආසියානු ශූරයින් වී ඇති අපගේ සිංහ පෝතකයින් හට පසුගිය වසර දෙක තුළ ක්‍රිකට් කැලැන්ඩරය තුළ දකින්නට, විඳින්නට ලැබුණේ එතරම් සාර්ථක ප්‍රථිපල නොවෙයි. ඔටුනු පැළඳීමේ අරමුණින් ආරම්භ කළ ඒ වසර දෙක ආරම්භයේදී ම ක්‍රිකට් ලොවට අපේ රටින් දායාද කළ රජවරු තුන් කට්ටුවකගේ නික්මයාමත් සිදුවෙනවා. ඒ සංගා, මයියා, සහ ඩිල්ශාන්ගේ සමුදීමයි. එතැන් පටන් ඇරඹි දෙ වර්ෂය ශෝකාන්තයක්ම යන්න අවිවාදයෙන්ම අප කවුරුත් පිළිගත යුතුය. ඒ අනුකම්පා විරහිතව සිය මව් භූමියේදී පවා පිට පිට ලැබූ පරාජයන් ගොන්නක් සමඟිනුයි. එනමුදු වර්තමාන නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමුඛ අපගේ සිංහ පෝතකයින් හට ඔවුන් කෙරෙහි වූ ක්‍රීඩා ලෝලී ආදරය, සහයෝගය මඳක් හෝ හීන වී නොමැති බව වර්තමාන ක්‍රිකට් තරඟයක් නරඹන ඔබටත්, මටත් එකහෙලාම පැවසිය හැකිය. ඒ අපගේ ලැජ්ජා නහර කපා ඇති නිසා පමණක්ම නොවේ… ඒ අප සදාතනික ක්‍රිකට් පිස්සන් වන නිසාවෙනි.

ඉතින් මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ශාන් වැනි ලෝක පූජිත ක්‍රිකට් මහත්වරුන් රැසක් ලොවට දායාද කළ මේ අපූරු කණ්ඩායම නැවතත් සිය සුපුරුදු ක්‍රීඩා විලාශයට අවතීර්ණ වී පෙර සේම රටට අභිමානයක්,  ක්‍රීඩා ලෝලීන් වන අප හට නැවත වරක් ජයග්‍රාහී ඔල්වරසන් නගන්නට, නුදුරේදි ම අවස්ථාවක් හිමිවනතුරු…

නවතින්නම්.

image courtesy : https://www.thenational.ae/sport/in-pictures-icc-world-twenty20-final-1.335618