වර්තමාන අධ්‍යාපනය සදාචාරවත් සමාජයක් නිර්මාණය කරයි ද?

Share

සමාජය වූ කලී විවිධ මනෝ භාවයන් විඝටනය වන ස්ථානය යි. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා පිරිස් සමාජ අන්තර් ක්‍රියාවෙහි සිය දායකත්වය සපයයි. සමාජ තන්ත්‍රය මූල බීජ හතරක්
මත විසිරී පවතී. ඒ වූ හුදී දේශපාලනය, ආර්ථිකය, සමාජ විද්‍යාව සහ ආධ්‍යාත්මික සංවර්ධනය යි. ඇරිස්ටෝටල් නම් දාර්ශනිකයා පවසන අන්දමට “සමාජය හුදෙක් මිනිසා නම් දේශපාලනික
සත්වයා අතර පවතින සබඳතාවයි”. සමාජ ක්‍රමයක අත්‍යන්ත අවශ්‍යතා පූරණය කෙරෙහි මිනිසාගේ දැනුම, ආකල්ප සංවර්ධනය සහ ගුණධර්ම සෘජු බලපෑමක් එල්ල කරයි.

සමාජ විද්‍යාව අනුව මානවයාගේ ක්‍රියාවලීන් සිය අධ්‍යාපනය මත සහ අත්දැකීම් මත සංතුලනය වෙයි. අයෙකුට අධ්‍යාපනය ලැබීම පහසුවෙන්ම කළ හැක්කකි. නමුදු ගැටළුව වනුයේ
කෙතරම් අධ්‍යාපනය ලැබූව ද එහි ප්‍රායෝගික ආදේශනයන් සමාජය තුළ අපට හමු නොවීම ය. වර්තමාන සමාජ ගැටළු උග්‍ර වීමට මුඛ්‍ය හේතුව එය ය. තමන් උගතුන් යැයි කියා ගන්නා උතුමන් තිරය පිටුපස වංචාල දූෂණ අපරාධ සිදු කරනු ලබයි. අධ්‍යාපනය නිසා සිදුව ඇත්තේ එය කෙමෙන් කෙමෙන් පුද්ගලානුබද්ධ වන විට ගුණ දහම් පෑල දොරින් නොකියාම පිටව යාම ය. බුදුන් වහන්සේ දම්සක් පැවතුම් සුතුරේ දී මෙලෙස වදාළහ.

ඉදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරියසච්චන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි.

තං ඛෝ පනිදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරියසච්චං භාවේතබ්බන්ති’ මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි.

තං ඛෝ පනිදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරියසච්චං භාවිතන්ති’ මේ භික්ඛවෙ පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි.

බුදු හිමියෝ පවසන්නේ මා පෙර නො ඇසූ දහම් කරුණු අසන කල්හි මට ඇස පහළ විය යනුවෙනි. එකී ඇස නම් සම්මා දිට්ඨිය යි. සමාජයක දියුණුවට අවැසි වන්නේ අධ්‍යාපනය ම නොව පෙර කී සම්මා දිට්ඨිය යි. පැරණි සමාජයෙහි වූ වැවයි-දාගැබයි-ගමයි-පන්සලයි න්‍යාය මත බිහි වූයේ ගුණ ගරුක සදාචාරවත් දරුවෙකි. නමුදු අද බිහිවන්නේ සේකරයන් සිය ප්‍රබුද්ධ
කෘතියෙහි කියූ,

“බඩ මහත දැඩි පිරිමි
සෙම භරිත තඩි ගැහැණු
කය පුබුදු වී අවුත්
මස සසල කොට නටත්”

“හායි! බල්ලො මරාලා හරි සල්ලි හොයාලා ඉන්න ටිකේ, ඉම්මු සුදෝ ජොලිය දමාලා”

“සුරාගෙන පිරූ විතේ
විසුළු කෙලි නැටුම් සිනා
යොමා ඇස බලන් යළි සොඳුරේ
මැදුරු දොර දිහා”

මැදුරෙන් එහා පැත්ත බලන්න ඒක තමයි තමන් අයිති ලෝකය,

මේ කියන ජාතියේ මිනිසුන් මිස නුවණ හෝ ප්‍රඥාව ඇත්තවුන් නොවේ.

ගැටුම පවතිනුයේ අධ්‍යාපන ක්‍රමය මත වර්තමාන සමාජයේ අධ්‍යාපනයෙන් ඉහළට යනුයේ කට පාඩම් කරන ගිරා පෝතකයින් මිස නුවණැත්තවුන් නොවේ. අධ්‍යාපන විචාරකයෝ ශ්‍රී ලංකාවේ බුද්ධි ගලනයක් වන බවට විශ්ලේෂණ සාදා පෙන්වති. නමුදු ඔවුන් කිසිදා අධ්‍යාපන පද්ධතියට නවමු දෙයක් එක් කොට නැත. දරුවන් ටියුෂන් මාෆියාවේ ගොදුරක්ව සිටින අවධියක, රාජ්‍ය අධ්‍යාපන නගා සිටු විය යුතුව ඇත. ආචාර්ය ලයනල් එදිරිසිංහයන් විෂය මාලාවට සෞන්දර්යය විෂයන් එක් කළේ දරුවාට කලාව නැමැති අමා රසය ලබා දෙනු උදෙසා වුව නමුදු අද ඒවාට ද පන්ති යන කලා ඝාතකයින් දැක ගත යෙහෙකි ය. එනයින් පෙනී යන්නේ කලාව, අධ්‍යාපනය තුළ අවලංගු කාසියක් වී ඇති බව ය. මහින්ද චන්ද්‍රසේකරයන් මේ
සමාජ විකෘතිය මෙසේ පද්‍යට නගයි.

” සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ “

ශිල්ප උගනිතත් ශිෂ්‍යයා තුළ මූසිලගේ මෙන් වූ මුග්ධ  ගති මතු ව ඇති බැව් මෙයින් ගම්‍ය වේ.
සමාජ පන්ති ක්‍රමය තුළ වියතුන් බල රහිතව දැහැවී යත්ම, නූගත් යාන්ත්‍රිකයෝ කාර්ය සාධනයේ පෙරටු වෙති. ඉදින් මෙලෙස වූ කල දුරාචාරය වැඩි වීම ක්ෂණික ව සිදුවේ.මක් නිසාද යත් සමාජයේ පය නො ගැසූ පුද්ගලයා ජීවත් වනුයේ සුරංගනා මනෝ රථයක වීමයි. දේශපාලකයින් අධ්‍යාපනය දියුණුව ඇතැයි මහ හඬින් කෑ ගසත්, ලෝකය තුළ ලංකාව පහත් තැනකට වැටී පවතී. ඒ මක් නිසාද යත් ඔය තරම් අධ්‍යාපනය දියුණු වූවා නම් නවීන විද්‍යාත්මක නිර්මාණ මීට වඩා ලංකාවෙන් බිහි විය යුතුය. නමුදු එය එසේ සිදු ව නැත.

ඉදින් එලෙස නම් සිදු වී ඇත්තේ, අධ්‍යාපනය විද්‍යාර්ථයෙකු බිහි කළා නොව දත්ත පටිගත කළ රොබෝවරයෙකු බිහි කළ බවය. සමාජය අඳුරෙන් අඳුරට ම යමින් පවතී. මක් නිසා ද යත් අධ්‍යාපනය තුළ වනුයේ යථාර්ථවාදී මානව චින්තනයක් නොව ධනවාදී ඊර්ෂ්‍යාත්මක චින්තනයක් වීමයි. සත්‍ය කොටම අධ්‍යාපනය ලබන්නා ලබා ගත යුත්තේ, න්‍යාය නොව න්‍යායෙහි ප්‍රායෝගික ආදේශනය යි.ගුණ ගරුක සමාජයක් බිහි වීමට නම් අධ්‍යාත්මික සංවර්ධනයක් අවශ්‍ය ය. ශුද්ධ බයිබලය සඳහන් කරන්නේ “සිතින් පවිත්‍ර වන්නෝ භාග්‍යවන්තයෝ ය. මක් නිසාද යත් ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේ ය” යනුවෙනි. ඉදින් ඒ අනුව පිවිතුරු බව හෙවත් ගුණ ගරුක බව සමාජ තන්ත්‍රය ම බල පවත්වයි. එක්තරා පැරණි ශ්ලෝකයක මෙසේ පාඨ දෙකක් වෙයි.

“විද්‍යා දදාති විනයං – විනය ඇති තැන අධ්‍යාපනය
පිහිටයි.” – මෙය අපගේ මෙහෙවර විය යුතු අතර ” තමසෝ මා ජෝතීර්ගමය” – මා අඳුරෙන් ආලෝකයට ගෙන යන්න

මෙය අපගේ පුනරාවර්තන මුඛ්‍ය දැක්ම විය යුතුය. එලෙස වී හොත්
ගුණත් නුවණත් යසස් පිරිපුන් ජාතියක් බිහිවනු ඇත.

References :

1.12.2.1. ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය. (n.d.). Retrieved September 26, 2022, from https://www.thripitakaya.org/tipitakaya/Index/148?s=2575

2. Prabuddha, Its Philosophical Background, Sekara’s Ideology & CreativeLanguage,https://www.researchgate.net/publication/351872556

Image Courtesy : https://bit.ly/3DTrHoF

 
Tagged : / /