Epistemology – ඥාන විභාගය

Share

“දැනුම” ගැන දැනගැනීම, ප්‍රශ්න කිරීම ඥාන විභාගයයි🤔

⭕ප්‍රධාන දැනුම ලබා ගැනීමේ මාර්ගයන්🤗

⭕බුද්ධිවාදය vs අනුභූතිවාදය🙃

⭕පෙරදිග දර්ශන තුළ බුද්ධිවාදය – උපනිෂද් දැනුම් පද්ධතිය 

⭕බටහිර දර්ශන තුළ බුද්ධිවාදය

⭕රේනේ දෙකාර්ත් ඉදිරිපත් කළ ලෝක සත්‍යයන් 🌍

⭕තර්කවල වලංගුභාවය පිලිබඳ බුදුන් වහන්සේගේ ඉගැන්වීම්

⭕බුදුන් වහන්සේ බුද්ධිවාදය ප්‍රතික්ෂේප කලේ ඇයි?

⭕බුදුන් වහන්සේ බුද්ධිවාදියෙක් ද? අනුභූතිවාදියෙක් ද?

“අප දැනුම ලබාගන්නේ කෙසේද?” යන්න ඥාන විභාගයේ එන වැදගත් ගැටළුවක් වේ. මේ සඳහා ප්‍රධාන මත දෙකක් දාර්ශනිකයන් විසින් ඉදිරිපත් කර ඇත. මේ මත දෙක ඉදිරිපත් කළ අය බුද්ධිවාදීන් සහ අනුභූතිවාදීන් වශයෙන් කොටස් දෙකකට බෙදෙති.

ලෝකයේ සත්‍ය පිලිබඳ දැනුම ලබා ගත හැකි වන්නේ තර්ක විතර්ක කිරීමෙන් බවත්, තර්කයෙන් සියල්ල දත හැකි බවත් බුද්ධිවාදීන්ගේ අදහස විය. ජීවිතය හා ලෝකය පිළිබඳ සත්‍යඥානය ඔවුන් ලබා ගත්තේ, බුද්ධිමය තර්කය තුළිනි. පැත්තකට වී කල්පනා කිරීමෙන්, තර්ක කිරීමෙන් ලෝකයේ යථා ස්වභාවය පිලිබඳ අවබෝධය ලැබිය හැකි බව ඔවුන්ගේ අදහසයි.

ලෝකයේ පැරණිම බුද්ධිවාදී දාර්ශනිකයන් අපට හමු වන්නේ උපනිෂද් දැනුම් පද්ධතියෙනි. උපනිෂද් මුනිවරුන් හුදු බුද්ධිය සහ තර්කය ඇසුරෙන් පමණක් ලෝකයේ පරම සත්‍ය දැන ගැනීමට උත්සහ කළේ ය. උද්දාලක නම් උපනිෂද් මුණිවරයා “ලෝකය යනු පවතින දෙයකි. එය අනුභුතිමය වශයෙන් අපට ප්‍රත්‍යක්ෂ කළ හැකි ය. වින්දනය කල හැකි ය. එනිසා ලෝකය ‘සත්’ දෙයකි. එය ‘අසත්’ හෙවත් නැති දෙයකින් ඇති විය නොහැකි” බව ඔහු තර්ක කළේ ය. එමනිසා ලෝකයේ පරමාර්ථ තත්වය සත් බව ඔහු නිගමනය කළේ ය. නමුත් සමහර උපනිෂද් චින්තකයන් උද්දාලකගේ මෙම මතයට ප්‍රතිවිරුද්ධ අදහස් දැරී ය. යාඥවල්ක්‍ය එවැන්නෙකි. බ්රුහදාරන්‍යක උපනිෂදයෙහි ඔහුගේ අදහස් විස්තර වේ. ලෝකයේ පරම තත්වය හෙවත් ‘බ්‍රහ්මන්’ ගේ ස්වරූපය කුමක්ද? භෞතික වස්තුන් වෙනස් වීමට භාජනය වන ඒවා ය. ඒවායේ සනාතන ස්වරූපයක් නැත. එමනිසා ලෞකික ලක්ෂණ වලින් බ්‍රහ්මන් විස්තර කළ නොහැක. එයින් නිගමනය වන්නේ බ්‍රහ්මන් අලෞකික, අධි භෞතික දෙයක් බව යාඥවල්ක්‍ය කීවේ ය.

දැන් අපි බටහිර බුද්ධිවාදීන් ගැන සළකා බලමු. නූතන දර්ශනයේ ආරම්භකයා ලෙස බොහෝ දෙනා සලකන රේනේ දෙකාර්ත්, ලයිබ්නිට්ස් හා ස්පිනෝසා මෙම බුද්ධිවාදී සම්ප්‍රදාය තවදුරත් දියුණු කළ හ. දෙකාර්ත්ට පෙර පැවති මධ්‍යතන යුගයේ දර්ශනය පල්ලියේ දර්ශනයක් විය. පරම සත්‍ය වූ දෙවියන් වහන්සේ බුද්ධියෙන් අවබෝධ කරගත නොහැකි බව මේ දර්ශනයෙන් කියවිණ. නමුත් දෙකාර්ත් මේ අදහස ප්‍රතිෂේප කරමින් හුදු බුද්ධියෙන් සහ තර්කනයෙන් පමණක් සත්‍ය දැනගත හැකි බව කීවේ ය. බාහිර ලෝකයේත්, තමාගේත්, දෙවියන් වහන්සේගේත් පැවැත්ම යන කරුණු බුද්ධිය ඇසුරෙන් ඔප්පු කිරීමට ඔහු මහන්සි ගත්තේ ය. එහි ප්‍රථිපලයක් ලෙස ලෝකය පිලිබඳ සත්‍යන් 3ක් ඔහු ඉදිරිපත් කරන ලදී.

මා මේ දකින දෙය සත්‍යක්ද? මායාවක් විය නොහැකි ද? අප අවදි වී සිටිනවා යැයි සලකන අවස්ථා වලදී ඇත්තෙන්ම අප සිහින දකිනවා විය නොහැකි ද? එය එසේ නම් අප විසින් ප්‍රත්‍යක්ෂ කරනු ලබන සියල්ලම නියම වශයෙන් පැවැත්මක් නැත. මෙලෙස සෑම දෙයක් පිලිබඳවම අපට සැක කළ හැකි බව ඔහු කීය.

එහෙත් අපට මෙසේ සැක කළ නොහැකි එක දෙයක් තිබේ. එනම් ගණිත සංකල්පයි. 1+1=2 යන්න සත්‍ය බව අප පිලි ගනිමු. සිහිනයේ වුව ද මෙය අසත්‍ය විය නොහැක. නමුත් දෙකාර්ත් සිය නිගමන ඉදරිපත් කිරීමට පෙර ගණිතමය සංකල්ප ගැන පවා සැක කළ හැකි බව පැවසීය. ලෝකයට අධිගෘහිතව බලවත් යක්ෂයෙකු සිටිමින් අප ගණන් හදන හැම වාරයකදීම අපේ පිළිතුර අපට හොරෙන් වරද්දන්නට නොහැකි ද? මෙවැනි එකෙකු නැතැයි අපට එකවරම කියා සිටිය නොහැක. මෙලෙස ලෝකයේ තිබෙන සෑම දෙයක් පිළිබඳවම සැක කළ හැකි බව දෙකාර්ත් කියා සිටියේ ය.

සැක කළ නොහැකි කිසිවක් තිබේ දැයි සෙවීම දෙකාර්ත්ගේ මීළඟ කාර්යය විය. එහිදී ඔහු ලබාගත් ලෝක සත්‍යන් පිලිබඳ නිගමන 4 සළකා බලමු.

1) මම

” මම සිතමි. එමනිසා, මම සිටිමි ”

මෙලෙස ලොව සියල්ල පිලිබඳ සැක කළත් මා සැක කරන බව සැක කළ නොහැකි බව ඔහු නිගමනය කළේ ය.

2) දෙවියන් වහන්සේ

මා සිටින බව තර්කයෙන් ඔප්පු කළ ඔහු මීළඟට මෙසේ තර්ක කළේ ය.

i) “මට මාව මවාගත නොහැක. එසේ නම් මා මැවීමට සර්වබලධාරී කෙනෙක් සිටිය යුතු ය.”

මෙහිදී ජීව විද්‍යාත්මක කරුණු සලකමින් මා ඇති වන්නේ මව හා පියා නිසා බව සිතමින් දෙකාර්ත් මෙහි පවසන කරුණ වැරදි බව කෙනෙක් සිතන්නට පුළුවන. නමුත් මීට පෙර සඳහන් කළ අයුරින් මව,පියා ඇතුළු ලෝකයේ සියල්ල පිළිබඳ සැක කළ හැකි බවට (සිහිනයක්/ මායාවක්) තර්ක කළ නිසා දෙකාර්ත් මෙහිදී ඉදිරිපත් කරන තර්කය බිඳ දැමිය නොහැක.

ii) සර්ව බළධාරී කෙනෙක් පිලිබඳ මා තුළ හැඟීමක් ඇත. මා සර්වබලධාරී නොවන නිසා ත්, මම සර්ව සම්පූර්ණ තැනැත්තෙක් නොවන නිසා ත්, මා තුළ එවැන්නෙක් පිලිබඳ හැඟීමක් පැවතිය නොහැක. නමුත් ඇත්ත වශයෙන්ම මා තුළ එවැන්නෙකු පිලිබඳ හැඟීමක් තිබේ. එවැනි අදහසක් මා තුළට ඇතුලත් කරන ලද්දේ එවැනි ලක්ෂණ දරන පුද්ගලයෙකු විසින් විය යුතු ය. එම පුද්ගලයා දෙවියන් වහන්සේ විය යුතු ය.”

මෙම තර්ක දෙකම භාවිත කරමින් දෙකාර්ත් විසින් දෙවියන් වහන්සේගේ පැවැත්ම සත්‍ය බව තහවුරු කර සිටියේ ය.

3) ගණිත සංකල්ප

අපි දැන් දෙවියන් වහන්සේ සිටින බව දනිමු. “උන් වහන්සේ මහා කාරුණික වන බැවින්, දුෂ්ට යක්ෂයෙකුට ලෝකයේ මිනිසුන් රැවටීමට උන්වහන්සේ ඉඩ නො දෙනු ඇත. එහෙයින් එයින් යක්ෂයා නොමැති බව ඔප්පු වේ.” එමනිසා අප විසින් නිසැකව දන්නා තෙවැනි සත්‍ය හැටියට ගණිත සංකල්ප ගත හැකි බවට දෙකාර්ත් නිගමනය කළේ ය.

4) (අප අත්දකින ලෝකය)

මහා කාරුණික දෙවි කෙනෙකු සිටින නිසා අප විසින් ලෝකය ප්‍රත්‍යක්ෂ කරන අවස්ථාවන් හිදී එය අපට මායාවක් වශයෙන් ඉදිරිපත් වීමට ඔහු ඉඩ නොතබනු ඇති බව දෙකාර්ත් විශ්වාස කළේ ය. එමනිසා ලෝකය මායාවක් යැයි සැක කිරීමට අවශ්‍ය නැත. එහෙත් බාහිර ලෝකය පිලිබඳ කරුණු පිලිබඳ තරමක සැකයක් පහළ කළ හැකි නිසා එය ගණිත සංකල්පයන් මෙන් නිසැක සත්‍යන් ලෙස පිලිගැනීම අපහසු බව ඔහු කියා සිටියේ ය.

මෙසේ හුදු බුද්ධිය ඇසුරෙන් තර්ක කොට පමණක් දෙකාර්ත් ලෝකය පිලිබඳ සත්‍යයන් කීපයක් දැනගත් බව ප්‍රකාශ කළේ ය.එමනිසා ලෝකය පිලිබඳ සත්‍යයන් සහජයෙන්ම අපේ මනසේ රැඳී ඇති බවත් අප කළ යුත්තේ මනසේ මෙම අදහස් පැහැදිලි කරගැනීම පමණි. සහජයෙන් පවතින මේ අදහස් දෙකාර්ත් හැඳින්වුයේ “සහජ සංකල්ප” නමිනි. මෙම සහජ සංකල්පවාදය, බුද්ධිවාදය ශක්තිමත් පදනමක් එක්කළේ ය.

බුද්ධිවාදිහු මෙලෙස හුදු බුද්ධිය ඇසුරෙන් තර්ක කිරීමෙන් පමණක් ලෝකය පිලිබඳ සත්‍යයන් අවබෝධ කරගත හැකි බව විශ්වාස කළ හ. එහෙත් බුද්ධිවාදය එතරම්ම නිවැරදි, සාර්ථක දැනුම ලබා ගැනීමේ මාර්ගයක් නොවන බව පවසමින් බුද්ධිවාදයට විවේචන ඉදිරිපත් කළ චින්තකයෝ ද වූහ. බුද්ධිවාදයට එරෙහිව පැහැදිලි විවේචනයක් මුල්වරට ඉදිරිපත් කරන ලද්දේ බුදුන් වහන්සේ විසිනි. බුදුන් වහන්සේ තර්ක කර එළඹෙන නිගමන සතර ආකාර වන බව විස්තර කළ හ.

  1. හරියට තර්ක කොට හරි නිගමන වලට එළඹිය හැකි ය.
  2. හරියට තර්ක කොට වැරදි නිගමන වලට එළඹිය හැකි ය.
  3. වැරැදියට තර්කකොට හරි නිගමන වලට එළඹිය හැකි ය.
  4. වැරැදියට තර්කකොට වැරැදි නිගමන වලට එළඹිය හැකි ය.

[ම.නි. සන්ධක සුත්‍රය]

අප විසින් තර්ක කොට එළඹෙන නිගමනය ඉහත සතර ආකාරයෙන් කවර හෝ එකකට අයත් විය හැකිය. නමුත් නිශ්චිතවම අයත් වන්නේ කුමකටද යන්න පැවසීම තර්කය මගින් සිදු කළ නොහැක. එය දැනගැනීමට නම් තර්කය ඇසුරින් එළඹි නිගමනය අනුභූතිය ඇසුරෙන් සත්‍ය දැයි සෙවිය යුතු ය. එසේ නම් වැදගත් වන්නේ බුද්ධිය නොව අනුභූතියයි.

බුදුන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රය, කාලාම සූත්‍රය, සන්ධක සූත්‍රය ආදී සූත්‍ර ගණනාවකම හුදු බුද්ධිවාදීව තර්කවලින් පමණක් එළඹෙන නිගමනවල ඇති වලංගුභාවය අභියෝගයට ලක් කරමින්, වැදගත් වන්නේ අනුභූතිය බැවින් බුද්ධිවාදය සාර්ථක ඥානෝපාය මාර්ගයක් නොවන බව සඳහන් කළහ. බුදුන් වහන්සේ අතිශයින්ම අන්‍යෝන්‍ය වශයෙන් ගැලපෙන අනුභුතිවාදයක් ඉදිරිපත් කිරීමට තැත් කල චින්තකයෙක් ලෙස සැලකිය හැක…

බුදුන් වහන්සේ ඉදිරිපත් කර ඇති කරුණු සතරෙන් දෙවැන්න තේරුම් ගැනීම තරමක් අපහසු බව පෙනේ. හරියට තර්ක කළා නම් වැරදි පිළිතුරක් ලැබෙන්නේ කෙසේද ?

උදාහරණයක් ලෙස 1+1=2 යන්න ගනිමු. මෙහිදී 1+1=2 යන්නෙහි තර්ක කිරීම සම්පූර්ණයෙන් නිවැරදි වේ. නමුත් අප එකතු කළේ එක වැලි ගොඩකට තවත් වැලි ගොඩක් නම්…. තර්ක කිරීම හරි වුනත් පිළිතුර අසත්‍ය වේ.

මෙයටම තවත් පැහැදිලි කිරීමක් වීජ ගණිතය මගින් ඉදිරිපත් කළ හැක.

1+1=2 (in ordinary arithmetic)

1+1=1 (in Boolean algebra with a notation where ‘+’ denotes a logical disjunction )

මෙහිදී අප වැඩිපුර අවධානය යොමු කළේ දැනුම ලබා ගැනීමේ මාර්ගයක් ලෙස බුද්ධිවාදය සහ එහි සාර්ථක සහ වලංගුභාවය පිළිබඳවයි. ප්‍රධාන ඥානෝපාය මාර්ග 2 අතරින් දෙවැන්න වන අනුභූතිවාදය ගැන අපි පසුව සාකච්ඡා කරමු.

Written By : Lakshan Ranathunga

Image Courtesies:
Featured Image: https://bit.ly/3Da9X6V
Content Image1: https://bit.ly/3NTQ49o
Content Image2: https://bit.ly/3OaEiIT
Content Image3: https://bit.ly/3pLjP46

 
Tagged : / /