තුලා රාශිය හැඳින ගනිමු.

Share

 

‘හෙළයේ මහා මංගල්‍යය’, හෙවත් අලුත් අවුරුදු උළෙල සිදු වන්නේ මීන රාශියේ සිට මේෂ රාශියට සිදුවන සූර්යයාගේ දෘශ්‍ය චලිතය පදනම් කොට ගෙනය. සූර්යයා එලෙස දෘශ්‍ය ගමනේ යෙදෙන මුත්, සත්‍ය වශයෙන් චලිතයේ යෙදෙන්නේ පෘථිවිය වන අතර එය කන්‍යා රාශියේ සිට තුලා රාශිය දක්වා සිය පසුබිම් රාශිය වෙනස් කිරීම මෙහිදී සිදුවේ. එම හේතුවෙන් පෘථිවිය අවසානයේ හුවමාරු වන තුලා රාශිය පිළිබඳ යම් අවබෝධයක් ලැබීම අත්‍යවශ්‍ය වේ.

වෘශ්චික හා කන්‍යා රාශිය අතර පවතින මෙම රාශිය අහසේ පවතින 29 වන විශාලතම තාරකා රටාව වේ. එලෙසින්ම, රාශි චක්‍රයේ උපකරණයක් නිරූපණය වන එකම රාශිය වන තුලා රාශිය, කන්‍යා රාශියේ දීප්තිමත්ම තාරකාව වන ‘ස්පයිකා’ හා වෘශ්චික තාරකා රාශියේ දීප්තිමත්ම තාරකාව වන ‘ඇන්ටාරස්’ අතර මැද පිහිටා ඇති අතර, එමඟින් එය ඉතා පහසුවෙන් හඳුනා ගත හැක. හැඩයෙන් චතුරස්‍රයක ස්වරූපයක් ගන්නා අතර, රාත්‍රි අහසේ දීප්තිමත් තාරකාවලින් කිසිවක් මෙම රාශිය සතු නොවන මුත්, මෙහි දීප්තිමත්ම තාරකාව පියවි ඇසට කොළ පැහැයෙන් පෙනෙන එකම තාරකාව වන අතර, එය නිල් වාමන තාරකාවක් වීම තවත් විශේෂත්වයකි. මෙලෙස විශාල තාරකා රාශින් දෙකක් අතරමැදිව පිහිටීම හේතුවෙන් විවිධ ප්‍රශ්නයන්ට මෙම රාශියට මුහුණ දීමට සිදු නොවුණා කීවොත් නිවැරදි නොවේ.

තුලා රාශියේ ඉතිහාසය
තුලා රාශියේ ඉතිහාසය මානව ශිෂ්චාටාරයේ ආරම්භය දක්වා දිව යන අතර, බැබලෝනියානුවන් විසින් මෙම රාශිය “ස්වර්ගයේ තුලාව(the balance of heaven/ZIB.BA.AN.NA) ” එනම් ‘උණුසුම හා සිසිල හා දිවා රාත්‍රියේ සමතුලිතතාව නිරූපණය කරන්නේ’ යි විශ්වාස කරන ලදී. එලෙසම රෝමානුවන් විසින් ද මෙම මතය ම දරනු ලැබූ අතර අසල්වාසී කන්‍යා රාශියෙන් නිරූපණය වන ඇස්ට්‍රියා(Astraea) දෙවඟන විසින් උසුලනු ලබන යුක්තියේ තුලාව(balance of justice) ‘මෙම රාශියෙන් නිරූපණය කරන්නේ ‘යි විශ්වාස කරන ලදී.

එලෙසම ඔවුන් මෙම රාශිය ඔවුන්ට ‘වාසනාව ගෙනෙන්නේ ‘යි විශ්වාස කළ අතර, රෝමය බිහි වන විට ‘චන්ද්‍රයා තුලා රාශියේ පැවතිණි ‘යි විශ්වාස කරන ලදී.
එනමුත්, ග්‍රීකයන් මීට හාත්පසින්ම වෙනත් අදහසක් දැරූ අතර ඔවුන් තුලා රාශිය වෘශ්චික රාශියේ ‘ගෝනුස්සාගේ අඬු දෙක’ ලෙස සලකන ලදී. මේ අනුවම යමින් අරාබින් විසින් මෙම අඬු දෙකට අයත් තාරකාවන් “සුබෙන්ස්චමෙලි / උතුරු අඬුව (Zubeneschamali/the northern claw)” හා “සුබෙනෙල්ගුමෙනි / දකුණු අඬුව(Zubenelgenubi/southern claw)” ලෙස මෙම රාශියේ දීප්තිමත් තාරකාවන් නම් කරන ලද අතර අද දිනට ද මෙම තාරකා එම නම්වලින් හැඳින්වේ.
නමුත් පසු කාලීනව යුක්තියේ දේවතාවිය දරන තරාදිය, ගෝනුස්සාගේ අඬුවලට වඩා ජනප්‍රිය වූ අතර, මෙය වෙන්වූ තාරකා රටාවක් ලෙස ටොලමි විසින් ක්‍රි.පූ.2 දී වාර්තා ගත කරන ලදී.
ඉහත කී ‘දිවා රෑ සමබරතාවත්, උණුසුමේ හා සිසිලේ සමබරතාවත්’ තුලා රාශිය මඟින් නියෝජනය හේතුවක් පවතී. එනම් මීට වසර දහසකට පමණ පෙර උත්තර අර්ධ ගෝලයේ ග්‍රීස්ම සෘතුව නිමවා සිසිරය ආරම්භ කරවන සරත් සෘතුවේ සූර්යයාගේ පසුබිම් රාශිය තුලා වීමය. එනම් ශීත සෘතුව නිමවමින් වසන්තය උත්තර අර්ධගෝලයට ගෙන එමින් සූර්යයා සමකයට හිරු මුදුන් වන විට මේෂ රාශිය පසුබිමින් සිටි ලෙසින් වසර දහසකට පමණ පෙර ග්‍රීෂ්ම සෘතුව නිමවා සරත් සෘතුව, සිසිරයේ බලපොරොත්තු කැඳවමින් යලිත් සූර්යයා සමකයට මුදුන් වන විට පසුබිම් රාශිය ලෙස තුලා රාශිය පැවතී ඇත. ඒ අනුව උණුසුම් හා සිසිල් කාල සීමාවන් අතර මධ්‍යය නියෝජනය කිරීමත්, හිරු සමකයට මුදුන් වන විට දහවල හා රාත්‍රිය සමාන වීමත් යන කාරණා අනුව බැබලෝනියනුවන් ඉහත නාමයෙන් තුලා රාශිය හැඳින්වීම යුක්තායුක්ත වේ.

නමුත් පෘථිවියේ පූර්වායන ක්‍රියාවලිය හේතුවෙන් මෙම තත්වය පවතින්නේ ඉතා කෙටි කාලයක් වන අතර මේෂ රාශිය සේම තුලා රාශිය ද වර්තමානයේ සරත් විෂුවයේ හිරුගේ පසුබිම් තාරකා නොවේ. ක්‍රි.පූ . 2000 පමණ ඉතිහාසයේ පවා සරත් විෂුවයේ පාදක තාරකා රාශිය ලෙස පැවති තුලා රාශිය ක්‍රි.ව.729 දක්වාම එම තත්වය පවත්වා ගත් අතර එම හේතුවෙන් සරත් විෂුවදාංශය තුලා රාශියේ සංකේතයෙන් අදටත් නිරූපිත වේ. එනමුත් වත්මනේ සරත් විෂුවයේ සූර්යයාගේ පාදක රාශිය වන්නේ කන්‍යා රාශියයි.
මෙම රාශියේ ස්වරූපය පිළිබඳ සැලකීමේදි මෙම රාශියේ දීප්තිමත්ම තාරකා වන ‘ඇල්ෆා ලිබ්‍රේ’ හෙවත් ‘සුබෙනෙල්ගෙනුබි’ නම් ද්විත්ව තාරකා පද්ධතියත් ‘බීටා ලිබ්‍රේ’ හෙවත් ‘සුබෙනෙල්චමෙලි’ නම් නිල් වාමන තාරකාවත් තුලාවේ සමබරතා දණ්ඩ නිරූපණය කරන අතර ගැමා හා සිග්මා ලිබ්‍රේ තාරකා තුලාවේ තැටි නිරූපණය කරයි.

මෙම ඇල්ෆා ලිබ්‍රේ ද්විත්වය කැසටර් නම් ‘චලනය වන තාරකා කාණ්ඩයට අයත් වන්නේ’ යි සැලකෙන අතර මෙම තාරකා ද්විත්වයම මිලියන 200 කට පෙර නිර්මාණය වන්නට ඇතැයි සැලකේ.
මෙම රාශිය වඩාත් වැදගත් වන්නේ දැනට අප දන්නා පැරණිම තාරකාව අයත් වන්නේ මෙම රාශියට වීමය. මෙතුසෙලාහ්(Methuselah) නමින් හඳුන්වන මෙම තාරකාව HD 140283 ලෙසින් ද හැඳින්වේ. විශ්වය නිර්මාණය වී මඳ කාලයකින් මෙය නිමවී ඇතැයි සැලකෙන අතර සූර්යයා සතු යකඩ ප්‍රමාණයෙන් 1% වඩා අඩු ප්‍රමාණයක් මෙහි පවති.

මෙම තාරකාවේ වයස බිලියන 14.46 ක් යැයි සැලකෙන අතර ගැටලුව වන්නේ විශ්වය නිර්මාණය වන්නේ මීට වසර බිලියන 13.77 කට පෙර වීම වන මුත් මෙම ගණනය කිරීම් වල දී අවිනිශ්චිතතා බොහෝ බැවින් එය එතරම් විශාල ගැටලුවක් ලෙස සලකා නොමැත.
එලෙසම මෙම රාශිය HO Libra හෙවත් Gliese 581 නම් දැනට හඳුනාගත් පිටස්තර ග්‍රහලෝක තුනක් හිමි හා සම්පූර්ණ වශයෙන් පිටස්තර ග්‍රහලෝක හයකට හිමිකම් කිව හැකි රතු වාමන තාරකාවක් හිමි වන අතර එය පෘථිවියට ආලෝක වර්ෂ 20.3 ක් පමණ දුරකින් පිහිටා ඇත. මෙහි දැනට තහවුරු කර නොගත් සයවැනි ග්‍රහලොව ජීවයට හිතර කලාපයේ පවතින අතර එහි පැවැත්ම තහවුරු වුවහොත් ජීවයට වඩාත් හිතකර පිටස්තර ග්‍රහලොව මෙය වනු ඇත. එලෙසම මෙම මණ්ඩලයට සෞරග්‍රහ මණ්ඩලය මෙන් ධූමකේතු වලයක් හිමිය.


මෙම තාරකා රටාව ගැඹුරු ආකාශ වස්තූන් ඉතා අඩු සංඛ්‍යාවකින් යුත් නමුත් මැයි මස දී මෙම රාශිය පසුබිම් කරගත් ‘ලිබ්‍රිඩිස්’ (Librids) නම් උල්කා වර්ෂාව ඇතිවේ.
කෙසේ නමුත් මෑතකාලීන ව නව වසර සැමරීමේ දී පෘථිවිය තුලා වෙත ගමන් නොකරයි. මන්දයත් ශ්‍රි ලංකාවට හිරු මේෂ රාශිය පසුබිම් වන අවස්ථාව උදා වන්නේ අප්‍රේල් අග වීමයි. මෙලෙස තත්ත්වය පැවතුණහොත් සිදුවන්නේ කටක රාශියෙන් සිංහ රාශියට පෘථිවිය ගමන් කරනු අත් විදීමටය.

මූලාශ්‍ර

1. https://bit.ly/2C98emL

2. https://bit.ly/3fO3GAR

3. https://bit.ly/32p6P5X

ඡායා රූ මූලාශ්‍ර

1. https://bit.ly/3fCo8US

2. https://bit.ly/3ezNKRb

3. https://bit.ly/2CigiS5

4. https://bit.ly/3fFZq6c

5. https://bit.ly/30gvqaG

6. https://bit.ly/2CigD7j

 

 
Tagged : /