බකට්

Share

වෙසක් පෝය දවසේ වෙසක් සඳ පායනතුරු කවුරුත් බලන් ඉන්නෙ පුදුම ආසාවෙන්. දවස් ගානක් තිස්සෙ මහන්සිවෙලා හදපු වෙසක් කූඩුවල බල්බ් පත්තු කරන්න, පන්සල් මළුව පුරා ම, ගෙමිදුල පුරා ම බකට් පත්තු කරන්න, ගමේ හැමෝම එකතුවෙලා ගම පටන්ගන්න තැන ඉඳලා පන්සල තෙක් හදපු පහන් වැටේ පහන් පත්තු කරන්න හැමකෙනෙක්ම බලන් හිටියේ වෙසක් සඳ පායනතෙක්.

ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල්තැනක් දෙන්න ඕනෙ වුණත් ආමිස පූජාව පුළුවන් උපරිමයෙන් ම කරන්න තමයි අපේ මල්ලිගෙ වුවමනාව. ඒක නිසා දවස් ගානක් තිස්සේ වෙසක් කූඩු මහා ගොඩක් ගෙදර හැමෝගෙම උදව් අරගෙන එයා හැදුවා.ගෙදර පුරාම ඒවා එල්ලලා පහන් පත්තු කරාම ගෙදරත් හරියට පන්සලක් වගේ. “ඔය දේවල් විතරක් කරල හරි යන්නෙ නෑ, සිල් ගන්නත් ඕනෙ” කියලා අත්තම්මා කිව්වට පස්සේ එයා හදපු කූඩු දෙකකුත් අරගෙන සිල් සමාදන් වෙන්න පන්සල් ගියා. එයාගෙ පන්තියේ යාළුවො ටිකත් සිල් සමාදන් වෙන්න ඇවිල්ල ඉන්නවා දැක්කම එයා සිල් අරන් තැන්පත්ව ඉඳී කියල නම් මං විශ්වාස කළේ නෑ.

එයා ගෙනාපු වෙසක් කූඩු දෙක පන්සලේ එල්ලලා එයාගෙ යාළුවන්ටත්, සිල් සමාදන් වෙන්න ආව හැමෝටමත් පෙන්නුවා. හැමෝම දැන් දන්නවා ඒ එයාගෙ වෙසක් කූඩු කියලා. “මමය මාගේ කියලා කිසිදෙයක් මේ ලෝකෙ නෑ පුතා, සියල්ලම අනිත්‍යයි.”කියලා සීයා කෙනෙක් එයාගේ ඔලුව අතගාලා කිව්වා. ඒත් මල්ලිට ඒක තේරුණේ නෑ කියලා මට හොඳටම තේරුණා. අපි හැමෝම අෂ්ඨාංග සීලයෙ හි පිහිටවන්න ලොකු හාමුදුරුවො මළුව ට වැඩියා. අටසිල් සමාදන් වෙලා අපි සන්සුන් ගමනින් ධර්මශාලාව ට ගියත්,  මල්ලියි එයාගෙ යාළුවොයි වෙනදා වගේමෙ ධර්මශාලාව ට දුවන්නයි ලෑස්තිය.

“හා හා පුංචි උපාසක මහත්තයා සිල් අරන් දුවන්න හොඳ නෑ, උස් ආසන වල වාඩිවෙන්න හොඳ නෑ, අවේලාවෙ ආහාර ගන්න හොඳ නෑ.”කියලා ලොකු හමුදුරුවො අටසිල් රකින විදිහ සහ ඒවගේ තේරුම අපේ මල්ලිලාට කියලා දුන්නා. ඊට පස්සේ සිල් පවාරණය කරන තුරු ඒගොල්ලො දඟලනවා මං දක්කේ නෑ. වෙනදට ගේ පුරා ම දුව පනින මල්ලිගෙ සන්සුන්කමක්, හික්මීමක් මං දැක්කෙ පළවෙනිවතාවට. හැමදාම එයා මේ විදිහට හිටියොත් අම්මටත් ගෙදර වැඩ ගොඩක් අඩුවෙයි කියලා මට හිතුනා.

අපි මෛත්‍රී භාවනාව කරන්න බෝධි මළුව ට ගියා. “සියලු සත්වයෝ නිදුක් වෙත්වා!…නීරෝගී වෙත්වා!…කියලා අත්තම්මත් එක්ක මල්ලි ත් හයියෙන් කිව්වා. ඊට පස්සෙ අපි නිහඬව භාවනා කරද්දි මල්ලි ඒ නිහඬතාවය බින්ඳේ අපේ භාවනාව ට බාධා කරමින්.”අත්තම්මෙ ඇයි භාවනා කරන්නෙ.” ඒ මල්ලි අහපු ප්‍රශ්නය. මගේ භාවනාව ට බාධා කරපු නිසා තරහ ගිය ත්, තරහ පාලනය කරගෙන මම නැවතත් භාවනා කරන්න පටන් ගත්තා. “පුතේ, භාවනා කළාම හිත තැන්පත් වෙනවා, මනස නීරෝගී වෙනවා, නරක සිතුවිලි ඇති වෙන්නෙ නෑ, පාඩම් කරන දේවල් හොඳට මතක හිටිනවා, එළඹ සිටි සිහියෙන් වැඩ කරන්න පුළුවන් වෙනවා.” කියලා අත්තම්මා මල්ලිට කිව්ව. “මෛත්‍රී භාවනාවෙනුත් ඒව ද ලැබෙන්නේ” මල්ලි අයෙත් ප්‍රශ්නයක් ඇහුවා. “මෛත්‍රී භාවනාව කළාම නපුරු හීන පෙන්නෙ නෑ, සුවසේ නින්ද යනවා, සුවසේ අවදිවෙනවා, මිනිස්සුන්ට නොමිනිසුන්ට ප්‍රිය වෙනවා, ලස්සන වෙනවා, දෙවියො ආරක්ෂා කරනවා” කියල මෛත්‍රී භාවනාවෙ ආනිසංස අත්තම්මා මල්ලිට කිව්වා. අත්තම්මා පසු දා පහන්වන තුරු සිල් ගත්තත් මල්ලියි, මමයි සිල් පවාරණය කරලා ගෙදර ආවා. අපි බලාපොරොත්තු වුණ විදිහටම වෙසක් සඳ පායලා මුළු පරිසරයම වෙසක් සඳ එළියෙන් නැහැවිලා. අම්මයි,තාත්තයි,මල්ලියි,මමයි බෝධි පූජාවට පන්සලට යද්දි පාර දෙපැත්තෙ පහන් ආලෝකය, සුළඟට ලෙළදෙන බෞද්ධ කොඩි හිතට ගෙනාවෙ නිරාමිස ප්‍රීතියක්. මුළු ගමම එක යායක් වගේ. ගම පුරාම පහන් ආලෝකය පැතිරිලා. හැම ගෙදරක් ම හරි අපූරුවට සරසලා. වෙනදා වෙසක් තරම් මේ අවුරුද්දෙ වෙසක් කලබලකාරී නෑ. වෙනදට වෙසක් බලන්න නලා සද්ද කරගෙන යන රථවාහන පෙරහැර නැති එකනම් හිතට සහනයක්. ගමේ හැමෝම පන්සලට ඇවිත් විහාර මළුවෙදි බෝධි පූජාව පැවැත්තුවා.

බුදුරජාණන් වහන්සේ මාරයා පැරදවූවෙත්, තිස්වසරක කුරිරු යුද්ධයෙන් රණවිරුවො අපේ රට බේර ගත්තෙත් මෙවර වෙසක් දවස යෙදුනු 18 වෙනිදා නිසා, රණවිරුවන් සිහිකරලා සෙත් පතන්නත්, එදා විසි එක් වෙනිදා සිදුවුණු අවාසනාවන්ත සිදු වීමෙන් මිය ගිය, විපතට පත් වූ හැමෝම සිහිපත් කරන්නත්, රෝහල් ගත වෙලා ඉන්න හැමෝටම ඉක්මන් සුවය පතන්නත් ලොකු හාමුදුරුවො අමතක කළේ නෑ.

බෝධි පූජාව ඉවර වෙලා ගෙදරට දුවගෙන ආව මල්ලි එයාගේ වෙසක් කූඩුවල බල්බ් පත්තු කරලා, ගෙදර හදපු පහන් වටේ පහන් පත්තු කරලා, තාත්තගේ සහයෝගයත් ඇතිව ඉටිපන්දම් ගහලා බකට් පත්තු කළා. මල්ලිගේ මූණෙ තියෙන සතුට දැක්කම හැමෝගෙම හිත් මේ වගේ පින්බර දවසක සතුටින් තිබේවා කියලා මට හිතුනෙ ඉබේටම යි.

“තාත්තේ, වෙනදා වගේ අපි වෙසක් බලන්න, තොරණ් බලන්න යන්නෙ නැද්ද?” කියලා මල්ලි ඇහුවෙ බකට් පත්තු කරන ගමන්. “පොසොන් එකට තොරණ් බලමුකො පුතේ” කියලා තාත්තා මල්ලිට කිව්වෙ “ගෙදරත් අද තොරණක් වගේ නේද?ලොකු පුතේ” කියලා මගෙන් අහන ගමන්.

බකට් පත්තු කරලා ටික වෙලාවකින් ඇවිත් බලද්දි මල්ලි පත්තු කරපු බකට් එකක් ඉටිපන්දම් දැල්ලට පිච්චිලා ගිහිං. කදුළු පිරිච්ච ඇස් වලින් එයා අම්මට කතා කළා. අම්මා සිද්ධිය දැක්කට පස්සේ “සදාකාලිකව පවතින කිසිම දෙයක් නෑ. හැමදේම දවසක නැතිවෙලා යනවා හරිය ට මේ බකට් එක පිච්චිලා ගියා වගේ” කියල කිව්වා.” අම්මෙ එතකොට දවසක මමත් නැතිවෙලා යනවද?” කියලා මල්ලි අම්මගෙන් ඇහුවෙ ඇස් පුදුම කරගෙන. “ඔව් පුතේ, දවසක අපි හැමෝම මැරෙනවා. ඒක නිසා මේ ජීවත් වෙන ටික කලෙදි හොඳ දේවල් කරන්න ඕනේ. හැමෝටම උදව් කරන්න ඕනේ. කරුණාව දයාව හැමකෙනෙක්ටම දක්වන්න ඕනෙ.මිනිස්සුන්ට විතරක් නෙවෙයි, ගහ කොළ සතා සීපාවට පවා. පිං රැස් කරන්න ඕනේ.” කියලා අම්මා කිව්වා.

මම ය මාගේ කියලා දෙයක් නෑ කියලා සිල් සමාදන් වෙන්න ගියවෙලේ සීයා කිව්වෙ මේ ගැන කිව්වා කියලා මමත් මල්ලිට මතක් කළා.

 

Image Courtesy – https://www.pinterest.com/pin/657807089293762113/

 
Tagged : /