ඈ අම්මා නම් වන්නී ය..

Share

ඔබ අප දිවි ගෙවන ලෝක ධාතුව තුළ “අම්මා” තරම් ආදරයෙන්, සෙනෙහසෙන් කට පුරා හඬ ගා කියන්නට හැකි තවත් වචනයක් තිබේදැයි මම නොදනිමි. සැබැවින් ම ඈ ආදරයේ ප්‍රතිමූර්තියයි. ඇගේ හද පුරා විහිදුණු කරුණාව දෙවැනි වන්නේ බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාවට පමණක් ම ය.
අම්මා පිළිබඳ මා සතු පළමු මතකය කුමක්දැයි සිහිපත් කිරීම එතරම් පහසු කරුණක් නොවන්නේ ය. නමුත් ඇගේ ගැබ තුළ වැඩෙන කල මා ඇගෙන් ලද උණුසුම අදටත් ලැබෙන බව නොරහසකි. මා ඇගේ ගැබට පිවිසි බව දැන ගත් මොහොතෙහි ඇයට දැනුණ හැඟීම වචන කළ හැකි දැයි මම නොදනිමි. නමුත් එතැන් පටන් ඇය, මා වෙනුවෙන් දුක් විඳින්නට ඇරඹි බව පමණක් දනිමි.
කෙමෙන් කෙමෙන් මා ඇගේ ගැබෙහි වැඩෙද්දී ඇය කැමති දේ අනුභව කරන්නට, ඇය කැමති ඇලයෙන් නිදන්නට මා තහංචි දමන්නට ඇති. ඇය රිසි කළ, ඇය එතෙක් සිදු කළ සියල්ලක් පාලනය කරන්නට මා උත්සුක වන්නට ඇති. නමුත් ඈ ඒ සියල්ල මා කෙරෙහි වූ අසීමිත ආදරයෙන් යුතු ව ඉවසුවා ය. එහාට, මෙහාට පිනුම් ගසමින් මා ඇගේ ගැබ තුළ දඟලන විට මුවඟෙහි සිනහවක් රඳවන් ඇය සුසුම් හෙළන්නට ඇති.
මෙලොව එළිය දකින්නට මා සූදානම් බව ඇයට හැඟෙද්දී වෙනදාටත් වඩා සවියෙන් ඇය නැඟී සිටින්නට ඇති. ජීවිතයත්, මරණයත් අතර සටනකට ඇය කළමනා සකසන්නට ඇති. මා මෙලොවට බිහි කරන මොහොතෙහි ඇය විඳි වේදනාව තරම් වේදනාවක් මේ තාක් මේ ලොව කිසිවෙකුත් නොවිඳි බව සංශයක් නොවන්නේ ය. නමුත් මගේ පළමු හැඬුම් හඬින් ඇගේ සියල් වේදනාවන් අමතක ව යන්නට ඇතැයි මම සිතමි.
මා දෝතට ගත් ඇය මා දෙස බොහෝ වෙලා බලා හිඳින්නට ඇති. ඒ ඇගේත් මගේත් ඇස් එකිනෙක හා කතා කළ පළමු මොහොතයි. මා වෙනුවෙන් ඇගේ දෙතනෙහි කිරි එරෙන්නට පටන් ගන්නට ඇති. ඇඟේ දුවන ලේ, කිරි බවට පත් කරන්න මේ ලොව කිසිත් විද්‍යාවක් මේ තාක් සමත් ව ඇත්දැයි මම නොදනිමි. නමුත් අම්මා මා වෙනුවෙන් ඒ දේ කළ බවත්, පෙව් කිරි බෙලෙන් මා පෝෂණය වූ බවත් පමණක් දනිමි.
ඇගේ උකුළෙහි හොවා ගෙන මා නළවන්නට ඇය ගැයූ ගී පද තවමත් මා සවනත ගිගුම් දෙයි. බඩ ගාමින්, දණ ගාමින් කෙමෙන් වැඩෙන මගේ මුවෙන් පළමු වරට “අම්මා” යැයි ඇසුණු මොහොතෙහි ඇය මා සිප වැළඳ ගන්නට ඇති බව නම් විශ්වාසයි. ඇගේ අතැඟිලිවල එල්ලී මා අඩි තබන්නට පටන් ගන්නට ඇති. මගේ දඟකාරකම්, කෙළිකවටකම් දැක ඇය මහත් සේ සතුටු වන්නට ඇති. නමුත් වැටී, පෙරළී, සීරී, තුවාල වී මා හඬනු දකින්නට නම් ඇය රුචි කළා විය නොහැකියි.
නැකතට ‘අ’ යනු ‘ආ’ යනු කිවූ දවසෙහි පටන් මා උගතෙකු කරන්නට ඇය කළ කැප කිරීම් කිසිත් අමතක නැත. අමතක වන්නේ ද නැත. පෙර පාසලේ සිට පාසලටත්, පාසලේ සිට සරසවියටත් පැමිණි ගමන ඇය නොවන්නට හුදෙක් සිහිනයක් ම පමණක් වන්නට තිබුණි. කිසිදා නිවාඩුවක් නොලද ඇය අදටත් අලුයම අවදි ව අපගේ කුදු මහත් සියල් කටයුතු කර දෙන්නී ය. සියල්ල මැදහත් සිතින් ඉවසමින් අපගේ සුබ සෙත පමණක් ම පතන්නී ය. ඈ අම්මා නම් වන්නී ය. ඇගේ ඒ උත්තරීතර කැප කිරීම අගයන්නට මෙලෙස ලියවෙන වචනවලට පමණක් නොහැකි බව හොඳාකාරයෙන් ම දනිමි.
බ්‍රහ්මයන් සතු සිව් බඹ විහරණයන් ඇය තුළ ද පවත්නා බවත්, යම් සේ මවක් ආයුෂයෙන් සිය පුතු රකියි ද එලෙස සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ වූ මෙත් සිත පැතිරවිය යුතු බවත්  බුදු පියාණන් වහන්සේ වදාළේ ඇගේ ශ්‍රේෂ්ඨත්වයට කෙරෙන ගෞරවයක් ලෙසයි.
අද අපේ අම්මාවරුන්ගේ දිනයයි. අම්මෙකුගේ උතුම් ගුණ කදම්භය සිහිපත් කරන්නට එක දවසක් පමණක් ප්‍රමාණවත් නොවන බව නම් සැබෑවකි. ඇය ගැන, ඇය අප වෙනුවෙන් කළ කී දේ ගැන කතා කර අවසන් කරන්නට ජීවිත කාලය ම ගත කළත් නොහැකි වන බවට නම් සැකයක් නැත. මා හැදූ, මා වැඩූ, මා පෝෂණය කළ මගේ ම අම්මේ, ඔබ මතු බුදු වෙනවා සත්තයි!
Image Curtesy:
 
Tagged : / /