මානව ගමන වෙනස් කල අපූරු චාරිකාව-3

Share

මින් පෙර ලිපියේ දි ශැන්ග් චියෑන් වර්තමාන බැක්ට්‍රියාවට පැමිණ යුඑට්’සි ගෝත්‍රය මුණ ගැසීම හා තම අධිරාජයාගේ අදහස දැන්වීමත් එනමුත් එය අසාර්ථක වීමත් සදහන් කරන ලදි.

නමුත් තම උත්සාහය අත් නොහරින හෙතෙම තම දේශය මින් පෙර කිසි දිනක දැනුවත් නොවූ මෙම භූමි භාගයන් ගැන තොරතුරු එකතු කිරීම සිදු කල බවත් එහි දී පැහැදිලි කරන ලදි.  ලංකාවේ ඉතිහාස වාර්තා සැලකීමේ දි මොහුගේ ගමන ලංකාවේ ශ්‍රේෂ්ඨ නරපති දුටුගැමුණු රජුගේ සමයේ වීම තවත් වැදගත් කරුණක් ලෙස මෙහි දී සැලකිය හැක. කෙසේ නමුදු හෙතෙමේ යුඑට්’සි ගෝත්‍රයේ අදහස වෙනස් වේ යැයි අපේක්ෂාවකින් පසු වු අතර ඒ නිසා ඉක්මනින් ආපසු හැරී යාමේ උනන්දුවක් මෙහෙයුම අසාර්ථක වූ තැන ඔහුට නොවී ය.

මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා සොක්ඩියානාවේ තැනූ නුර් (ආලෝකය ) බලකොටුව (Fortress of Nur)

ශැන්ග් චියෑන් දුටු ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයේ නටඹුන්

එලෙස ඔහු ඩායුවානය පිළිබඳව පමණක් නොව කන්ජු, ඩාක්’ෂියා පිළිබඳව ද වාර්තා කරන ලදී. මෙම භූමින් පෙර ග්‍රික බැක්ට්‍රීය රාජධානියේ කොටස් වූ නමුත් යුඑට්’සි ජනයා බැක්ට්‍රියාව (ඩාක්ෂියා) අල්ලා ගැනීමත් යුඑට්’සි හා සක කණ්ඩායම් හි බලපෑම් වලට සොක්ඩියානාව (කන්ජු) ලක් වීමත් නිසා මෙම ග්‍රීක සලකුණු මෙම ප්‍රදේශ වලින් මැකී යමින් තිබුණි. මේ නිසා ශැන්ග් චියෑන් මෙම කලාපයන් හි ඩායුවානයට හාත්පසින් වෙනස් වූ ශියොන්ග්නු ජනයා සමාන සංස්කෘතියක් සහිත ජන සමාජයන් දක්නට ලදී. එලෙසම ඩායුවානයට උතුරින් වූ වර්තමාන බොල්කෑෂ් විල (Lake Balkhash)  හෙවත් එකල යිබෝ මුහුදට (Yibo Sea)  නැගෙනහිරින් වූ භූමිය ජනාවාස කොටගත් වුසුන් ජනතාව (Wusun) ගැන ඔහු වාර්තා කර ඇත. මෙම ජන වර්ගය පළමු ව ශියොන්ග්නු සංයුක්තය යටතේ ජීවත් වූ අතර පසුව ඔවුන්ගෙන් වෙන් වී ස්වාධීන භූමියක ජනාවාස ඉදි කර ගැනීමට තරම් ප්‍රබල ගෝත්‍රයක් බවට පත් වී තිබිණ. ඒ අනුව ඔවුන් මුල් කාලීන ව සහභාගී වූ ශියොන්ග්නු වාර්ෂික රැස්වීම පසුව වර්ජනය කරන ලදී. මොවුන් අයිරිෂ් ජනයා හා සමානව රතු හිස කේ හා කොළ ඇස් සහිත ජන කණ්ඩායමක් වූ අතර ඩායුවානය හා සමව ඉතා හොඳ අසුන් ඇති කරන්නන් විය. තවත් වැදගත් කාරණයක් වන්නේ මොවුන් වුසුන් ලෙස චීන බසින් හැදින්වෙන්නේ ඔවුන්නේ පුරාවෘත්ත අනුව ඔවුන් කාකයන් හෙවත් කපුටන්ගෙන් පැවත එන බැවින් ‘කපුටන්ගේ දරු මුණුපුරන් (Crow Grandchildren)’ යන අර්ථ ගැන්වීමට ය.

ඔහු කලාපයේ සංස්කෘතීන් පමණක් නොව කලාපයේ වෙළදාම පිළිබඳවත් සිය අවධානය යෙදවීය. ඒ අනුව ඔහුට තම දේශයේ නිර්මාණය වන නිෂ්පාදනයන්ට මෙහි දී ඉහළ ඉල්ලුමක් හිමි වන බව ඔහු වටහා ගත්තේ ය. එපමණක් නොව ශියොන්ග්නු කණ්ඩායම් මඟින් අලෙවි කරන හන් නිෂ්පාදන වූ සේද රෙදි, පිඟන් භාණ්ඩ ආදිය මෙම වෙළදපොලට පැමිණෙන වෙළෙන්දන් විසින් ඉහළ මිලට මිල දී ගෙන මෙම කලාපයෙන් එපිට වූ බටහිර හා දකුණින් පිහිටි රාජ්‍ය වලට ගෙන ගොස් තවත් ඉහළ මිලට විකුණන බව දැනගත්තේ ය. ඒ අනුව ශියොන්ග්නු බලපෑමෙන් තොර වූ වෙළද මගක් හරහා මෙම නිෂ්පාදන අලෙවියෙන් තම දේශයට මෙම සියලු ආර්ථික වාසි ලබා ගත හැකි බව ඔහු වටහා ගත් අතර ඒ සදහා මාර්ගයක් සෙවීමට ද ඔහු මෙම කාලයේ දි වෙළෙන්දන්ගෙන් ලැබෙන තොරතුරු හරහා යම් උත්සාහයක් ගත්තේය.

මිනැන්ඩර් රජුගේ යුගයේ නිකුත් කල ඔහුගේ රුව රැගත් කාසියක්

ශැන්ග් චියැන් ඉන්දියාව පිලිබද දැනුවත් වීම.

එලෙස වෙළෙන්දන්ගෙන් හා වෙළෙදපොල තොරතුරු විමර්ශනයේ දි ඔහුට අපූරු යමක් නෙත ගැටුණි. ඒ හන් රාජධානියේ එකය ශූ කලාපය (Shu) හෙවත් වර්තමාන සිචුවාන් කලාපයේ (Sichuan)  දක්නට ඇති උණ බම්බු හා සමාන උණ බම්බු හා ඒ ආශ්‍රිත නිර්මාණ මෙම වෙළෙදපොලෙහි දක්නට ලැබීමය. මෙම ප්‍රදේශ දෙක අතර විශාල කදු වළල්ලක් හරස් ව පිහිටන බව දන්නා ශැන්ග් චියෑන් මෙම නිෂ්පාදන මෙහි දක්නට ලැබීම ගැන විමතියට පත් වූ අතර මෙම නිර්මාණයන්හි ප්‍රභවය පිලිබද කුතුහලයකින් පසු විය. ඒ පිළිබඳ විමර්ශනයක් කළ හෙතෙමේ දැන ගත්තේ මෙම නිෂ්පාදන මෙම කලාපයට දකුණින් වූ ශෙන්ධූ (Shendu) නම් භූමියකින් පැමිණෙන බව ය. මෙය වර්තමාන පාකිස්තානයට අයත් සින්ධ් (Sindh) කලාපය බව වර්තමාන ඉතිහාසඥ මතය වේ. ඉන්දියාවේ හා ලංකාවේ ඉතිහාස වාර්තා අනුව මෙම යුගයේ දී මෙම කලාපය ග්‍රීක බැක්ට්‍රීය රාජධානි මගින් පාලනය වූ අතර මෙම ගමන සිදු වන කාලයේ දි මෙම රාජධානියේ පාලකයා වී ඇත්තේ සුප්‍රසිද්ධ බෞද්ධ නරපති මිලිඳු හෙවත් මිනැන්ඩර් ය (Menander I). කෙසේ නමුත් ශැන්ග් චියෑන් මෙම භූමිය රළු හා ආර්ද්‍රතාවෙන් ඉහළ කලාපයක් ලෙස සටහන් කරන අතර මෙහි ජීවත් වන මිනිසුන් අලි ඇතුන් හීලෑ කර ගනිමින් තමන්ගේ විවිධ කාර්යයන්ට ,විශේෂයෙන් යුද්ධයට යොදා ගන්නා බව ද එම සටහන් වලට එක් කරන ලදී.

එලෙස වෙළෙන්දන්ගෙන් තොරතුරු විමසීමේදි මෙම කලාපයේ ප්‍රබලම රාජ්‍යය වූ පාර්‍තියානු අධිරාජ්‍ය පිලිබදවද දැනුවත් වූ අතර එම රාජ්‍යය ඔහු විසින් අන්ක්’සි (Anxi) ලෙස හැදින්වීය. ඔහුගේ වාර්තා අනුව මෙම රාජ්‍යය මෙම කලාපයට දකුණින් හා බටහිරින් වූ භූමීන්හි විශාල කලාපයක් පාලනය කල ප්‍රබල රාජධානියක් බව සටහන් කරන ලදී. මෙම යුගය වන විට පාර්‍තියානු අධිරාජ්‍යය පෙර සෙලියුසිඩ් රාජ්‍යයට අයත් වූ ටයිග්‍රිස් නදිය( Tigris river ) අසබඩ පිහිටි සෙලූසියා ඇතුළු දකුණු මෙසපොතේමියා භූමිය අල්ලා ගෙන තිබූ අතර ශැන්ග් චියෑන් මෙම මෙසපොතේමියානු භූමිය පිලිබදවද තම වාර්තා වලට එක් කර තිබිණි. ඔහු මෙම භූමිය ටියෝචි (Tiozi)  ලෙස හදුන්වා ඇත. ඒ අනුව මෙම කලාපයේ වැසියන් සහල් වගා කිරීම සිදු කල අතර කලාපයට අයත් ලොකු කුඩා ප්‍රාදේශීය පාලනයන් සියල්ල පාර්‍තියාවට යටත් වූ භූමින් ලෙස ඔහු සටහන් කර ඇත. එලෙසම ඔහු පාර්‍තියානු රාජ්‍යය විසින් භාවිතා කරන පාලකයන්ගේ හිස් වල රූ සහිත රිදී කාසි පිළිබදවත් මෙම සටහන් වලට එක් කොට ඇත.

පාර්‍තියානු රාජ්‍යයේ ආරම්භකයා වූ පළමු අර්‍සාසෙස් (Arsaces I) රජුගේ රුව රැගත් රිදී කාසියක්

එලෙස ම පරක් තෙරක් නොපෙනෙන ස්ටෙප්ස් තැනිතලාවේ මෙම කලාපයට උතුරින් වූ භූමිය පිළිබදවත් හෙතෙමේ උනන්දු වූ අතර ඒ අනුව ඔහුට අරාව් නම් වූ භූමියකට නුදුරින් පිහිටි යන්කායි( Yancai)  නම් ජන වර්ගයක් පිලිබදව මෙහි දී සටහන් කරන ලද අතර ඔවුන් ශියොන්ග්නු ජනයා හා සම වූ සංස්කෘතියකින් යුතු කණ්ඩායමක් විය. වර්තමාන විද්වතුන්ගේ අදහස අනුව මෙම අරාව් භූමිය කැස්පියන් මුහු ද ආශ්‍රිත භූමිය ලෙස සැලකේ.

ක්‍යුලින් කදුවැටිය

වසරක් ගත වුවද යුවෙට්’සි ජනයා හා සන්ධානයක් ගොඩ නගා ගැනීමට අපොහොසත් වන ශැන්ග් චියෑන් ඇතුළු කණ්ඩායම කලාපය පිළිබද එක් කරගත් තොරතුරු සමගින් ආපසු පිටත් වීමට සූදානම් වූ අතර මෙහිදී හෙතෙමේ පෙර මහට වඩා තරීම් නිම්නයේ වඩාත් දකුණින් වූ මගක් තෝරා ගනිමින් ක්‍යුලින්  ( Qilian) කදුවැටිය තරණය කරමින් හන් රාජධානිය වෙත යාමට උත්සාහ ගත් අතර මෙහි දී අවාසනාව නැවතත් ශැන්ග් චියෑන් වෙත පැමිණිනි. ඒ අනුව හෙතෙමෙ මෙම මග අතරමග දී නැවතත් ශියොන්ග්නු ග්‍රහණයට අසු වූ අතර පෙර මෙන් නොව චන්යු විසින් මරණයට නියම කරනා තෙක් සෘජුව ම සිරමැදිරියක සිර කරන ලදී.

එලෙස සිරගත වන ශැන්ග් චියෑන්ගේ ඉරණම හා සේද මාවතේ නිර්මාණයේ ක්‍රියාවලිය පිලිබද තොරතුරු මීළඟ කොටසින් බලාපොරොත්තු වන්න.

මූලාශ්‍ර

  1. YouTube. (2020). YouTube. Retrieved October 21, 2023, from https://www.youtube.com/watch v=Y5KwhAqJSOw&list=PLTWtVUzAvZ3r_NUCKDxGRsP6yraV35g6b
  2. YouTube. (2019). YouTube. Retrieved October 21, 2023, from https://www.youtube.com/watch?v=Fe5GisuuMdk.
  3. Menander I. Visit the main page. (n.d.). https://www.newworldencyclopedia.org/entry/Menander_I
    Image Courtesies :
    Featured Image : https://bit.ly/3TdUzPJ
    Content Image 1 : https://bit.ly/3OW0lmE
    Content Image 2 : https://bit.ly/4bQDd2N
    Content Image 3 : https://bit.ly/4bPDCT3
    Content Image 4 : https://bit.ly/4bPDCT3
 
Tagged : / / / / /