ගැමි සුවඳ

Share

නගරෙ වගෙ නෙමෙයි. ෆෝන්, ටීවී, ඉන්ටනෙට් නැති ඒ ‘ඉස්සර ගම’ හරි රසයි, හරි සැපයි, හරි සුවඳයි.

 

රොසලින් කෙල්ල සිරිමතිලැයි හැඩකාර

හිරයක් අරන් වෙල්පල්ලෙන් කරකාර

පොල් තේ රබර් මහ වතුපිටි සරුසාර

උන්ටත් කලක් යන පාටයි මනහාර

 

මිනිහට හොරෙන් සේවනයට පරදාර

සුසිලා හාමි මතකද හරි දඟකාර

සෙයිලමෙ ජෝන් ඒජන්තට පිහිපාර

තාමත් කරනවලු ගොම්මනෙ අවතාර

 

ගොඩින් වගෙම අක්කර යායක් ම මඩින්

කාසි කොහෙද මුන්ලට වහිනවද උඩින්

බැලුවත් ඇති සේතං මරගාතෙ ලෙඩින්

පුදුමෙ උන්ගෙ පවුලත් හැමදාම බඩින්

 

බෙම්පි නඟා මැද පෙරදිග ගිහිල්ලා

පොල් අතු පැලෙ රතු උළු කැට හෙවිල්ලා

තරමට ඉදිමෙන පමණට ඇඟිල්ලා

ජයපාලට ආන්න අං ඇවිල්ලා

 

පොලීසියෙන් විපරම රෑ දෙකක් පුරා

දෙබකේ අර නිළමෙයලගෙ හරක් හොරා

දෙසැරයක් ම රට කසිප්පු හොරට පෙරා

සැක කරන්නෙ මායියලගෙ හකුරු කිරා

 

කනිස්ටෙයට අලුතින් ආ සිරිපාල

පෙනුම අවිච්චියෙක් වගෙයි මනමාල

සිස්සාවියො වටකරගෙන ළාබාල

අර අදින්නෙ උගුලක්මයි සුවිසාල

 

පාලම යට හැන්දෑවට සුරුට්ටු

මුදියන්සේ තමයි ඔතන පෙරැට්ටු

සිල් රෙදි පොරවාගෙන නම රැවැට්ටු

මමනෙ දන්නෙ ඕකයෙ බොරු කැරැට්ටු

 

පිරිමි වහලු පෙළවහ යන්නට දීගේ

උන් කවුරුත් අවසානෙදි එක වාගේ

බැරි දවසට පිහිටක් නොපතමි කාගේ

සොපිනො කියා සිටියා සිඳිලලු රාගේ

 

රන්හාමිගෙ ළඟ එන තුන් මස් දානේ

කඳුළක්මයි සිහිවෙන සැරයක් ගානේ

එහෙව් එකෙක් මේ ගම් හතකත් නෑනේ

සිවුරක්වත් මා’තින් පුද දෙනු ඕනේ

 

බෙලියාගල දේවාලයෙ පෙරහැර මංගල්ලේ

මෙදා පටන් ගන්නෙ ජොසපිනාලගෙ කළු වැල්ලේ

යන්න කලින් එක සැරයක්වත් මට වල්පල්ලේ

උවමනාය දකින්න මම දිවුරමි මයෙ කෙල්ලේ

 

දකින්න විඳින්න නිවෙන්න !   මේ, අපේ ම අපේ අපේකම.

 

Image link: https://bit.ly/3kimcEy

 

 
Tagged : / /