එදා හෙළදිව අවුරුදු අසිරිය

Share

පැරණි ලක්දිව ගමක් තවත් ගමකින් වෙන් වුණේ ස්වභාවික පාරිසරික සීමා මායිම්වලිනි. ගංගා, ඇළදොළ, කඳු, වනබිම් වැනි ස්වභාවික මායිම් ද මංපෙත්, වෙල්යායන් ද ගමක් තවත් ගමකින් වෙන් කරන මායිම් විය. ගමේ වෙසෙන ගැමියන්ගේ ගෙවතු වෙන් කෙරෙන මායිම් සඳහා බොහෝ විට වූයේ පැල ඉනි වැටකි. වැට එඬරු, එරබදු, ගිනිසීරියා, ගංසුරියා, අන්දර ආදී පැළෑටි හා ගස් ගෙවතු වටා දක්නට ලැබුණි. ගෙවතු කිහිපයක් එක දිගට මායිම් වන පැල ඉනි වැටක් ඇති විට ඒ ආශ්‍රිත ව බඩවැටියක් තිබෙනු දක්නට ලැබුණි. බෝවිටියා, මාදං, පලුකං, කරඹ, ඇඹිල්ල, බාලොලියා, බලුදං, පේර ආදියෙන් යුක්ත මේ බඩවැටිය ගමේ ළමුනට නදුන් උයනක් විය.

බක් මහ උදා වෙත් ම බඩවැටිය පුරා ගස්වැල් මලින් බර වේ. දෙවැට දිගේ එරබදු ගස්වල රතු මල් කිනිති පිපෙද්දී කජු ගස්වල ද අඹ ගස්වල ද මල් කැකුළු හට ගන්නේ බක් මහ අසිරියට ඔච්චම් කරමිනි. අලුත් අවුරුදු ළඟ ළඟ එන බව පවසන මේ සොබා දහමේ පණිවුඩය හඬගා කියන එරබදු ගහේ ලගින කොහාගේ කුහු කුහුවට නිගාදෙමින් මී මැසි බඹර කැල අඹ, කජු, බක්මී මල් ගොමුවල සිට ගුමු ගුමු නද දෙති.

මාස් කන්නයේ වී අස්වනු කොළදින් කරන ගොවියෝ මැටි ගා පිරියම් කළ වී බිස්සට හෝ අටුවට හෝ වී අස්වනු පුරවති. ගැමි දරුවෝ කැපුණු ඉපනැල්ලේ චක්ගුඩු පනිති. ලුණු අදිති. ගුඩු ගසති.  අලුත් වීයෙන් කෙටු සහල් ද අඩුම කුඩුම ද රැගෙන සංහිද ගාවට යන ගෙවිළියන් හා එක්ව ගැමියෝ අලුත් සහල් මංගල්ලේ පවත්වති.

අලුත් සහල් මංගල්ලෙන් ඇරඹෙන අලුත් අවුරුදු උත්සවය සඳහා ගැමියෝ ද තරුණ තරුණියෝ ද ළමා ළපටියෝ ද ලහි ලහියේ සූදානම් වෙති. කාන්තාවෝ ගේ දොර පිරිබඩ ගා අවශ්‍ය කළමනා එක්රැස් කර ගැනීමෙහි නිරත වෙති. ලුණු ඇටයේ සිට අවශ්‍ය ආහාර ද්‍රව්‍යය ද මුළුතැන්ගෙය එකසිය අටක් වු ආම්පන්න ද පැදුරු කොට්ට මෙට්ට ආදිය ද එක්ලස් කර ගන්නේ බවලත් ඇත්තියන් ය. වී සහල් කොටන්නේ ද ධාන්‍ය අඹරන්නේ ද ඔවුන් ය. කැවිලි පෙවිලි සෑදීම ද ඔවුනට ම බාර වූවකි. අලුත් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම ගෘහ මූලිකයාගේ කාරියකි. එහෙත් දූ දරුවන් සඳහා ඒවා මස්වා ගැනීම කරන්නේ මව විසිනි.

ගමේ ගොඩේ ඇඳුම් මැහීමේ කාරිය කරන ඇත්තියන්ට ඒ දිනවල ගජරාමෙට වැඩ ය. මේ වන විට ගම ආසන්නයේ පිහිටි වෙළඳ පොළ වඩාත් සරු බවක් දක්වයි. කෑම බීමට අවශ්‍ය කළමනා මෙන් ම රෙදිපිළි ද කරවල ද ඇඳුම් පැළඳුම් ද පිඟන් කෝප්ප ද ලූණු මිරිස් ද රතිඤ්ඤා පෙට්ටි ද වෙළඳසැල්වල ගොඩගසා ඇත්තේ එළැඹෙන සැණකෙළිය සඳහා උපකාර කිරීමට මෙනි. මේ අතර ගමේ තරුණ ගැටව් කුඩා කණ්ඩායම් වශයෙන් එකතු වී ජන ක්‍රීඩා සඳහා සුදානම් වෙති. කතුරු ඔංචිල්ලා බඳින්නේ වැඩිහිටියන්ගේ උපදෙස් අවවාද ලබමින් ඒ සඳහා යුහුසුළු වෙති.

ගැමියන් ගම්බාර දෙවියන්ට බාර හාර වී කතුරු ඔංචිල්ලා බැඳීම ආරම්භ කරන්නේ අවුරුද්දට සති දෙක තුනකට පෙර ය. එය එතරම් ම අසීරු කාරියකි. ඒ සඳහා අවශ්‍ය දැව දඬු හා රැහැන් සපයා ගන්නේ අවට පරිසරයෙනි. මේ හැරෙන්නට ගහක හරස් අත්තක හෝ ගස් දෙකක් අතරේ හරස් අතට බැඳුණ ලී කඳක පැද්දුම් ඔංචිල්ලා බැඳීම ද සිදු කරන්නේ දින කිහිපයකට පෙර ය.

මෙසේ බැඳෙන පැද්දුම් ඔංචිල්ලාව ළමුන් සඳහා වෙන් වන අතර වාරම් ඔංචිල්ලාව තරුණ තරුණියන්, ගැටවර ගැටවරියන් සඳහා වෙන් වේ. සිංහල අලුත් අවුරුදු උත්සවයේ නැකත් සිරිත් විරිත්වලින් පසු එදිනෙදා වැඩකටයුතුවලින් නිදහස් වන ගැමි ළඳුන් ද තරුණ තරුණියන් හා එක්ව ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව වාරම් කවි කියමින් ඔංචිලි පදින්නේ මල්මල් චීත්ත රෙද්දෙන් හා ඊටම ගැළපෙන හැට්ටයකින් ද සැරසී ගෙන ය. සුවඳ කොකුම් ඇඟ තවරා, වරලස මලින් සරසා ගත් යුවතියෝ කෙළිබර සිනා හඬින් යුතුව එකිනෙකා පරයන කිංකිණි හඬින් වාරං කියමින් ඔංචිලි පදින රඟ බැලීමට ගමේ තරුණයෝ එතනට පැමිණෙති. උසුළු විසුළු කරති. එවිට තරුණ කෙල්ලෝ තව තවත් උකුළු මුකුළු පාමින් ඔංචිලි වාරං ගයමින් ඔංචිලි පදිති. එදා ගැමි තරුණියන් ගැසූ ඔංචිලි වාරං අතර…

“පදින කලට අඟනෝ ඔංචිල්ලා

අඳින සළුව තදකර ඇඳ ගල්ලා

තදින අතින්වැල් අල්ලා ගල්ලා

සොඳින වරල බැඳගෙන පැද පල්ලා”

 

“ගෝමර වට පෙති ළැමදේ දිලෙනා

රූබර ලඳවරු දැකමන මතිනා

ඒ සුරඟන මෙන් රැඟුමෙන් ඉතිනා

මේ වර පැදපන් ලෙස වට පෙනෙනා”

ආදී කවි ද ගායනා කෙරුණි. ගමේ ළඳුන් මේ අන්දමට ඔංචිලි වාරම් ගයමින් ඔංචිලි පදින්නේ අලුත් අවුරුද්ද එළැඹීමෙන් පසුව ය. ඊට පෙර ඔවුනට කළ යුතු කාර්යයන් බොහෝ ය.

අලුත් අවුරුද්දේ මෙහෙයුම් කටයුතු මෙන් ම සම්පත් දායකත්වය සම්පූර්ණයෙන් ම සපුරන්නේ මව විසිනි. අලුත් අවුරුද්ද ආසන්න වෙත් ම මව ඒ සඳහා සූදානම් වන්නී ය. හිරුගේ ශක්තියෙන් හා අම්මාවරුනගේ ක්‍රියාකාරිත්වයෙන් එළැඹෙන සුර්ය මංගල්‍යය උදෙසා අවශ්‍ය කෑම බීම සකස් වන්නේ මවගේ අතිනි. අලුත් සහල් පිදීමෙන් සිය මවුපියන් සහ නැදි මයිලන් වෙත ද වැඩිහිටි ඥාතීන් වෙත ද අලුත් සහලෙන් පිසූ ආහාර වේලක් ගෙන ගොස් දීමත් ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා වී, සහල්, කුරහන්, මුං ඇට ආදිය ගෙන ගොස් දීමත් සිදු කෙරෙයි.

ඉන්පසු අවුරුදු සමයට අවශ්‍ය සහල්, මුං, උඳු ආදිය කොටා පොළා සකස් කර ගැනීමත් රස කැවිලි සකස් කර ගැනීමට අවශ්‍ය සහල් පිටි, උඳු පිටි, මුං පිටි ආදිය සකස් කර ගැනීමත් පැණි හකුරු සපයා ගැනීමත් ගෘහණිය සතු කාර්යයකි. එම කටයුතුවල දී පවුලේ අනෙකුත් ගැහැනුන්ගේ ද සහය ලැබුණි. වී හාල් කෙටුණේ ද පිටි කෙටුණේ ද ඇඹරුණේ ද වංගෙඩි හා මෝල් ගස්වලිනි. එකල අවුරුදු සමය ළං වෙත් ම හැම ගෙදරක ම ඇසුණේ වංගෙඩි මෝල් ගස් ගැටෙන හඬ ය.

අලුත් අවුරුද්දට ගමේ ගැහැනුන් මෙලෙස සූදානම් වෙද්දී අලුත් අවුරුද්ද සඳහා නව සඳ බැලීමේ දිනය උදා වෙයි. ඒ බව සඳහන් වන අවුරුදු සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රය එක් එක් ප්‍රදේශවල සුළු සුළු වෙනස්කම් සහිත ව සිදු කෙරෙයි.

නව සඳ බැලීමේ චාරිත්‍රයෙන් පසු උදා වන්නේ කැවිලි බැදීම සඳහා තෙල් වළං ළිප තැබීමේ චාරිත්‍රයකි. අවුරුදු සිීට්ටුවේ සඳහන් සුබ දිනයේ දී සුබ නැකතින් තෙල් වළං ළිප තබා කැවුම්, කොකිස්, ආස්මී ආදි රස කැවිලි පිසීම ආදියේ සිට පැවත එන සිරිත මේ වන විට වියැකී ගොස් ඇතත් දුම්බර හා වයඹ පළාත්වල ඈත එපිට ගම්මානවල තවමත් නියමිත පරිදි සිදු කෙරෙයි. මෙසේ සකස් කර ගන්නා අතිරස, හැඳි කැවුම්, කොණ්ඩ කැවුම්, නාරං කැවුම්, අළුවා, අග්ගලා, මුං කැවුම්, මුං ගුලි, ආස්මී, කොළනාවුල්, කොකිස්, දොදොල් ආදිය ලොකු මැටි බඳුන්වල බහා වසුන් බැඳ දුම් මැස්සේ හෝ සුරක්ෂිත ස්ථානයක තබති. අවුරුද්ද සඳහා සකස් කරන රස කැවිලිවලට අමතර ව කල්තබා ගත හැකි ඇඹුල් තියල්, අච්චාරු, ලුණු දෙහි, ලුණු ඇඹුල්, කෝන් ඇඹුල් ආදිය ද දින දෙක තුනකට පෙර සකස් කර බඳුන්වල බහා තබති.

ජන සමාජයේ වෙසෙන විවිධ ජන කණ්ඩායම් ද ජාතීන් අතර අන්‍යොන්‍ය සම්බන්ධතාව හා සුහදතාව ශක්තිමත් කෙරෙන සේවාවන් ලබා ගැනීමට එකල අවුරුද්ද සැමරීමේ අත්‍යවශ්‍ය අංගයක් විය.

අලුත් අවුරුද්ද ලබන්නට සති කිහිපයකට පෙර මුළුතැන්ගෙට අවශ්‍ය වළං සියල්ල කුඹල්කරුවන් විසින් ගමේ ගෙයක් ගෙයක් පාසා කද බැඳගෙන ගෙනවිත් දෙයි. ඒ වෙනුවට ගැමියන් වී, හාල්, මුං, මෑ, පැණි හකුරු ආදිය ඔවුනට දිය යුතු වේ. ඇතැම් විට ඒ හැරෙන්නට කිසියම් මුදලක් දීමට ඇතැම්හු අමතක නොකරති.

මුළුතැන්ගෙට අවශ්‍ය මිරිස් ගල, කුරක්කන් ගල, දෝනිගල ගැමියාට සපයන්නේ දෙමළ ජාතික ගල් වඩුවන් විසිනි. මිරිස් ගලට බරපැන වශයෙන් වියලි මිරිස් හා වී හාල් දිය යුතු වේ. කුරක්කන් ගලට හිලවු කරන්නේ කුරක්කන් කරල් ප්‍රමාණයක් ය. වී, මුං, තල වැනි ධාන්‍ය වර්ග ද ගිතෙල්, පැණි හකුරු, පස්ගෝ රස ආදිය ද මෙම සේවාවන් සැපයීම වෙනුවෙන් දිය හැකි ය.

අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතර සිදු කෙරුණ මෙම භාණ්ඩ හුවමාරු ක්‍රමය තුළ මුදල් වෙනුවට භාණ්ඩ හුවමාරු ක්‍රමය ක්‍රියාත්මක වූ නමුත් කුල භේදයක සේයාවකුදු දක්නට නොවීය. මීට අවුරුදු පනහක හැටක පමණ කාලයකට පෙර මෙම සේවා සැපයුම් ක්‍රමය දක්නට ලැබුණ ද වර්තමානයේ එම චාරිත්‍රය වියැකී ගොසිනි. එකල අවුරුදු උත්සවය සඳහා  ගැමියනට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, රෙදිපිළි ගෙනවිත් දුන්නේ මුස්ලිම් වෙළෙන්දන් ය. පොට්ටනි කාරයන් යැයි හැඳින්වූ ඔවුන් කාසි මුදල්වලට ද ධාන්‍ය වර්ගවලට ද රෙදිපිළි හුවමාරු කළේය. මීට අමතර ව මාල, වළලු, පනා, සබන්, කණ්ණාඩි, විසිතුරු භාණ්ඩ ආදිය ගම්වලට ගෙන ගොස් විකුණූ මුස්ලිම් වෙළෙන්දෝ ද වුහ. කඩගම් පෙට්ටිධාරීන්, තොරම්බලකාරයන්, මනි බඩු කාරයන් යනුවෙන් ඔවුන් හැඳින්වීය.

වසරක් පුරා කුලවතුන්ගේ සේවා අවශ්‍යතා සැපයූවන් සඳහා පරණ අවුරුදු දිනයේ දී හෝ ඊට පෙර දිනක දී ඌලියම් කුලී දිය යුතු ය. රෙදි අපුල්ලන හේනේ මාමාට, රිදී නැන්දාට මෙන් ම කම්මල් නයිදේට ද ඔවුන් විසින් කරන ලද ඌලියම් වෙනුවෙන් ඌලියම් කුලී ගෙවිය යුතු වේ. රෙදි අපුල්ලන්නන් රජක කුලේ ය. කැති පොරෝ උදලු හදා දෙන්නේ නවන් දන්නා කුලේ ය. හැළිවං සාදා දෙන්නේ කුඹල් කරුවන් ය. මංගල්‍ය කටයුතුවල දී දැකුම් කද ගෙනි යන්නේ කන්ද ගැමියන් හෙවත් දේව වංශිකයන් ය. ඔවුන් සඳහා ඌලියම් කුලිය හා තෑගි වශයෙන් වී, හාල්, කුරක්කන් ධාන්‍ය වර්ගත්, කුළුබඩුත්, බුලත් පුවක්, පැණි හකුරු, කෙසෙල් කැන් ආදියත් දීම සිරිතකි.

සිංහල අලුත් අවුරුද්ද හෙවත් සූර්ය මංගල්‍යය, බක්මහ උළෙල හුදෙක් සිංහල ජාතියට පමණක් වෙන්වූ අවුරුදු උත්සවයක් නොවේ. සූර්යයා පෘථිවිය වටා එක් ගමන් වාරයක් ගොස් අවසන් කර තවත් ගමන් වාරයක් අලුතින් ආරම්භ කිරීම නිමිත්තෙන් පවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාව විදහා දක්වන සැමරුම් උත්සවයකි. එම උත්සවය පරිසරය හා බැඳුණ සතියක් පමණ කාලයක් පවත්වන ආර්ථික, සමාජයීය, සංස්කෘතිමය උත්සවයකි. මෙවැනි ජාතික උත්සවයක් ලෝකයේ කිසිම රටක දක්නට නැත. ජනේරුව, නත්තල ද වෙනත් රටවල පවත්වන ජාතික උත්සව ද දවසකට හෝ දෙකකට සීමා වෙයි.

සිංහල අලුත් අවුරුද්ද, බක්මහ උළෙල, සූර්ය මංගල්‍යය ආදී විවිධ නම්වලින් හැඳින්වෙන අපේ ජාතික උත්සවයට සමගාමී ව යාපනයේ වෙසෙන ජනතාව වසන්ත උත්සවයක් පවත්වති. උතුරු ඉන්දියාවේ හින්දු ජනතාව ද අප්‍රේල් 14 දින වසන්ත උත්සවය සමරති. එය ද හිරු දෙවියන් මුල් කර ගත් උත්සවයකි.

සූර්යයාගේ ගමන පදනම් කර ගෙන බක් මහේ දී පවත්වනු ලබන මෙම උත්සවය සිංහල අලුත් අවුරුද්ද යනුවෙන් ව්‍යවහාරයට පත්ව ඇත්තේ ලාංකික ජනතාවගෙන් බහුතරය සිංහල ජාතිකයන් වීම නිසා විය හැක. එය ජාතියක් මුල් කර ගත් අවුරුදු උත්සවයක් නොවුව ද ඉංග්‍රීසින්ගේ පාලන සමයේ දී ක්‍රි.ව. 1886 දී සම්මත වූ ජාතික නිවාඩු දින පනතට අනුව සිංහල හින්දු අලුත් අවුරුද්ද යනුවෙන් නීතිගත කෙරිණි. ඉන්පසු 1984 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජය යටතේ සිංහල හින්දු අලුත් අවුරුද්ද යන්න සංශෝධනය කර සිංහල දමිළ අලුත් අවුරුද්ද බවට පත් කෙරුණි.

එහෙත් දීර්ඝ කාලයක් තිස්සේ පැවැති සිංහල අලුත් අවුරුද්ද යන පොදු ව්‍යාවහාරය තවමත් වෙනස් නොවී බහුල ව අප අතර ව්‍යවහාරයේ පවතී. සූර්යයා මුල් කරගෙන පැවැත්වෙන සිංහල අලුත් අවුරුද්ද යනු එක් නිෂ්පාදන වර්ෂයක් අවසන් වී අලුත් නිෂ්පාදන වර්ෂයක් ආරම්භ වීම නිමිත්තෙන් පවත්වන සැමරුම් උත්සවයක් ද වන්නේ ය.

මෙය සූර්ය මංගල්‍යය වශයෙන් ද නම් කිරීමට අපි පුරුදු ව සිටිමු. ලෝකයේ පැවැත්මට බලපාන ප්‍රධාන ග්‍රහ වස්තුව සූර්යයා නිසා හිරු දේවත්වයේලා සැලකූ බව පැවසෙන වෘත්තාන්ත බොහෝ ය. එය මිත්‍යාවක් නොවේ. හිරුගේ ශක්ති ප්‍රවාහය නිසා ලෝකයේ පැවැත්ම සිදු වන්නේ, හිරු දේවත්වයේලා සැලකීම කවර වරදක් ද?

හිරු තරම් ම බලවත් නොවූව ද ජීවින්ගේ පැවැත්ම උදෙසාත් පරිසරයේ සමබරතාවය උදෙසාත් චන්ද්‍රයා ද වැදගත් වේ. එහෙයින් පැරැන්නෝ සඳු ද දෙවියකු කොට සැලකූහ. අවුරුදු චාරිත්‍ර අනුව හිරු සඳු දෙදෙනාට ම සැලකිලි දැක්වේ. අපේ ජීවිත පැවැත්මට පරිසර පද්ධතියේ සුරක්ෂිතතාවය, කෘෂි නිෂ්පාදන සරු වී සශ්‍රීකත්වය උදා වීමට සූර්යාගේ බලපෑම උපකාරි වන අතර ඒ මේ කටයුතු සඳහා සඳුගේ බලපෑම ද යම් තරමකින් උපකාර වන හෙයින් කෘතගුණ පුර්වක ව සූර්ය ගමන මුල් කර ගනිමින් අලුත් අවුරුදු සංකල්පය බිහි වී ඇත. හිරුගේ ප්‍රභාෂ්වරයෙන් දිලෙන චන්ද්‍රයා ද සූර්ය මංගල්‍යය පැවැත්වෙන උත්සව සමයේ දී පරණ අවුරුද්දට සඳ බැලීම, නව වර්ෂය සඳහා සඳ බැලීම තුළින් කෘතගුණ පූර්වක ව ස්මරණය කෙරෙයි.

ලෝකයාට සෞභාග්‍යය ගෙනෙන හිරු-සඳු දෙදෙනාට අමතර ව සෞභාග්‍ය උදා කරන දෙවඟනක ලෙස පත්තිනි දේවිය පිදීම ද සිංහල අලුත් අවුරුද්දේ දී සිදු කෙරෙන චාරිත්‍රයකි. ඒ සඳහා බොහෝ විට යොදා ගැනෙන්නේ ජන ක්‍රීඩා ආදියයි. දරු සම්පත් ලබා ගැනීම සඳහාත්, දරු ගැබ ආරක්ෂා කර ගැනීම උදෙසාත් පමණක් නොව රෝග පීඩාදියෙන් වළක්වාලීම උදෙසාත් පත්තිනි දෙවියන් පිදීම අපේ සිරිතකි. අං ඇදීම, පංච කෙළිය, පොර පොල් ගැසීම ආදිී ජන ක්‍රීඩා අවුරුදු සමයේ දී සිදු කරන්නේ පත්නිනි දේවියගේ ගුණ ගයමිනි. කතුරු ඔංචිලි බැඳීමේ දී ද පැදීමේ ද ගැයෙන ඇතැම් වාරම් කවි වලින් හිරු සඳු දෙවියන් ද පත්තිනි දෙවියන් ද සමරති.

“ඉර බාරයි ඉර වට යන ගිරවුන්ට

සඳ බාරයි සඳ වට යන සාවුන්ට

මල බාරයි මල වට යන බමරුන්ට

අප බාරයි සත් පත්තිනි දෙවියන්ට”

ආදී කවි ගයන අතර අංකෙළියේ දී ද පොර පොල් කෙළියේ දී ද

“රණ කෙළි කෙළියේ දෙවිඳුගේ නාමට

පද කර කවි කිව්වේ ඔබේ නාමෙට

පත්තිනි මම පැන්නෙ ද ගිනි ජාලයට

දෙවොල් පතිනි වැඩියයි අංකෙළියට”

“එරන් තැඹිලි පොල් අරගෙන සුරතට

වරන් ලැබුණු ගිනි පත්තිනි අප හට

සියලු රෝග දුරුවෙයි හළඹට

බිඳුනා උඩු පිළියේ පොල් හනිකට”

ආදී කවි ගායනා කෙරෙයි. සිංහල අලුත් අවුරුද්ද සමරමින් ගැමියන් එක් වී සාමූහික ව මේ අන්දමට ජන ක්‍රීඩාවල යෙදීම සුවිශේෂ ලක්ෂණයකි. ලොකු කුඩා උසස් පහත් භේදයකින් තොරව සැවොම එක් වී ප්‍රීතිවෙති.

රසමුසු අහර බුදිමින් ප්‍රීතිය සතුට අත්විඳිමින් ගුණ දහම් හා චාරිත්‍ර වාරිත්‍ර රකිමින් සෑම දෙනා ම වර්ණවත් ඇඳුමෙන් සැරසී අවුරුදු සමරති. එකම දවසක එකම වෙලාවක ආගමික ස්ථාන කරා ගොස් ආගමික වතාවන්හි යෙදෙන ලක් වැසියෝ පුණ්‍ය කාලය තුළ ගුණ දහම් රකිමින් නිරහාර ව උපවාසයේ යෙදෙති. දුගී දුප්පතාගේ සිට රජ මාළිගයේ වෙසෙන රජ දරුවන් දක්වා වූවෝ එකම වෙලාවක චාරිත්‍ර වාරිත්‍රවල යෙදෙමින් නියමිත වේලාවට ලිප් බැඳ කිරි උතුරවති. කිරිබත් පිස එකම මොහොතක ආහාර අනුභව කරති. දෙමාපියන් වැඩිහිටියන් වැඳ ගනුදෙනු කරති. නව වසර සඳහා වැඩ අරඹති.

එදා සිට පැවත එන මේ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කිරීම හේතුවෙන් රට පුරා හැම ගෙදරක ම එකම වෙලාවක කිරි ඉතිරවීම කෙතරම් අසිරියක් ද? එකම වෙලාවක ආහාර අනුභවය මොන තරම් ඉසුරුමත් බවක් ද? වෙනත් කිසිදු රටක සිදු නොකරන මෙවන් ජාතික උත්සවයක් අපට හිමි වූයේ පෙර වාසනා මහිමයෙනි.

කිරිබත අපේ සහල් සංස්කෘතියේ චාරිත්‍රයකි. කිරිබත් පිසීම අපේ සංස්කෘතියේ සශ්‍රීකත්වයේ ලක්ෂණයකි. කිරිබත පිස එයට තල වර්ග, ගිතෙල්, හකුරු ආදිය දමා සකස් කර නැකතේ දී පිසීමේ කටයුත්ත අවසන් කරයි.

වැඩ ඇල්ලීම චාරිත්‍රයේ දී ගොවි ගෙදරක සිදු කෙරෙන මූලික කර්තව්‍යයකි, කිරි අත්තකට කෙටීම. එහි දී පියා විසින් කැත්තෙන්, උදැල්ලෙන්, පොරොවෙන් කොටා වැඩ ඇරැඹීම කෘෂි කාර්මික සමාජයක් සංකේතවත් කෙරේ. ගැමි දරුවෝ ද මවුපියන් අනුකරණය කරති. ඇතැම් දරුවෝ පොත පතේ ඉගෙනුම් කටයුතුවල නියැලෙති.

ගනුදෙනු කිරීමේ චාරිත්‍රයේ දී ගැමි කාන්තාව කැපී පෙනේ. ළිඳ සමඟ සිදු කෙරෙන ගනුදෙනුවට අඟුරු කෑල්ලක්. තඹ කාසියක් වැනි ද්‍රව්‍ය අඩංගු පොදියක් ළිඳට දමා පළමු වතුර බාල්දිය ඇද ගනී, මේ ගැමි සිරිත හඳුන්වන්නේ ‘ළිඳ අලෙයි කරනවා’ යනුවෙනි. අඟුරු, ජලය පිරිසුදු කරන ගුණයෙන් යුක්ත ය. අවුරුද්දක් මුළුල්ලෙහි වතුරෙහි දිය වන තඹ කාසිය මිනිස් සිරුරට අවශ්‍ය තඹ ලබා දෙයි. වතුර සශ්‍රීකත්වය ගෙන දෙන්නකි.

දරුවෝ මාපිය, වැඩිහිටියන්ට බුලත් දී දණ ගසා වඳිති. තෑගි බෝග ද දෙති. තමා අතින් නොදැනුවත්ව හෝ වරදක් වී නම් සමාව භජනය වන මෙන් අයැද සිටිති. මේ බුලත් අත රැගෙන දරු මුනුපුරන්ගේ හිස අත ගාන වැඩිහිටියන්ගේ දෑස් සතුටු කඳුළින් බර වේ.

අසල්වැසියන් සමඟ බෙදා හදාගෙන කෑම සිංහල සිරිතයි. උදා වුණු අවුරුද්ද වාසනාවෙන් පිරී ඉතිරේවායි පතන්නට මෙන් අහල පහළ ගෙවල්වලට ද අවුරුදු කැවිලි පෙවිලි බඳුන් යැවේ.

සුබ නැකතට ආහාර අනුභව කරන විට සුබ දිසාවක් දෙස බැලීම වැදගත් කොට සැලකේ. සුබ දිසාව මෙන් ම සුබ වර්ණයක් ද නැකැත්කරුවෝ නියම කරති. ආහාර අනුභවයේ දී එම වර්ණ ඇඳුම් ඇඳ සිටීම දක්නට ලැබේ.

අලුත් අවුරුද්දේ සුවිශේෂී චාරිත්‍රයකි හිස තෙල් ගෑම, බෙහෙත් පැළෑටිවලින් පිළියෙල කරන තෙලක් වැඩිහිටියෙකු විසින් සුබ දිසාව බලා හිස ගානු ලැබේ. මෙයට හිසටත් පයටත් ඖෂධ නියම කෙරේ. ඒවා වසරින් වසර වෙනස් වේ. ගමේ ප්‍රධානියා. පන්සලේ භික්ෂූන් වහන්සේ හෝ නිවසක ගෘහපතියා විසින් මේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කරයි. අතීතයේ රජු ප්‍රමුඛ කොට ගත් අමාත්‍ය මණ්ඩලයට ද හස්තීන්ට ද හිස තෙල් ගෑමේ කටයුත්ත කළ බව කියැවේ. අදටත් රාජ්‍ය අනුග්‍රහය මේ චාරිත්‍රයට ලැබේ.

ඉන්පසු ව ස්නානය කිරීම සිදු වේ. සිතේ හැටියට නා පිරිසිදු වූ කල කය මෙන් ම සිත ද පිරිසිදු වේ. සිත කය පිරිසිදු කොට ගෙන ලැබුවා වූ අලුත් අවුරුදු ගමන යහපත් අයුරින් සිදු කිරීමට බොහෝ දෙනා ඉත සිතින් ප්‍රාර්ථනා කරති.

සිංහල අලුත් අවුරුද්දේ වැදගත් ම අංගය වන්නේ එම ඉපැරණි සිරිත් විරිත් පණ ගැන්වීමයි. අපේ ජාතිය සතු මහඟු දායාදයක් වූ අවුරුදු සිරිත් විරිත් මතුවටත් රැක ගැනීම අපේ යුතුකමකි. පැරණි හෙළයේ පැවැති සිංහල අවුරුදු අසිරිය ගැන කියවෙන,

“වැදගත් නිලතල කරනා මැති හට

බඳකත් ගොස් දෙති රඹකැන් සහ තුට

පිස ගත් කැවුමුත් අතිරස එක් කොට

මෙහෙමත් ලොව ඇති අවුරුදු වෙනුවට”

යන කවියෙන් කියවෙන්නේ ද පින්සාර හෙළයන්ගේ පැරණි අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව යශෝරාවයයි.

Image links:

 
Tagged : / / /