හොඳම තෑග්ග

Share

ඔබටත් ජීවිතේ ගොඩක් තෑගි ලැබිලා ඇති. ඒ අතරින්  හොඳම තෑග්ගකුත් ඇති. මේ මගේ ජීවිතේ ලැබුණු හොඳම තෑග්ග ගැන කතාවයි.

අවුරුදු දහයකට කලින් දවසක්, අම්මා වරින් වර සිහිය නැති වෙමින්, සිහිය එමින් වැටී සිටියා ය. ඒ තාත්තා නැති වීමෙන් හටගත් බලවත් කම්පනය නිසා ය. දින ගණනක් නොකා නොබී හඬමින් ගත කළ ඇය දකින විට නැවත යථා තත්වයට පත් නොවේදැයි බියකින් මා සිත වෙලුනු බව ද මතක ය.

නමුත් ටික දිනකින් ඇගෙ තත්වය යහපත් විය. සමහර දිනවල ඇය රෑට ඉකිබිඳින හඬ ඇසුනු අවස්ථා තිබුණ ද ඒ කිසිවිටෙකත් අප ඉදිරියේ නම් නොවේ. මා සිතුවාටත් වඩා අම්මා ශක්තිමත් වූවා පමණක් නොව අදටත් ඇය තාත්තගේ අඩුව දැනෙන්නටවත් නොදී ඔහුගේ භූමිකාව ද හොඳින්ම ඉටුකරන්නීය.

මා දන්නා කාලයේ පටන්ම අම්මා සැර ය. වරදක් කළොත් අම්මගේ ගුටි නම් වරදින්නේ නැත. මගේ අම්මා අනෙක් අම්මලා තරම් ආදරය පෙන්වීමට දක්ෂ නොවන්නට පුලුවන. එහෙත් ඇයගෙ පණකෙන්ද ගැහෙන්නේ අප ජීවත් වන තෙක් පමණක් බව මා හොඳින්ම දනිමි.

දවසක් පාසලෙන් බිත්තර කටු වලින් නිර්මාණයක් කරගෙන එන්නට අණ ලැබිණි. අම්මා අවශ්‍ය සියලු දේ ලබා දුන්න ද නිර්මාණය කරන්නට කිසිදු උදව්වක් ලබා නොදුන්නාය. ඊලඟ දවසේ ගම් තලියක් උලා බිත්තර කටු අපිළිවෙලට අලවා ඇති මගෙ නිර්මාණය පන්තියේ කැතම නිර්මාණය බවට පත්ව බිත්තියේ එල්ලෙමින් තිබිණ. මට අම්මා එක්ක ඇති වූයේ අමනාපයකි. එහෙත් ඇයට ඕනෑ වූයේ මා තනිව මගේ වැඩ කරගැනීමට ඉගැන්වීමට බව මට එදා වැටහුනේ නැත.

හැමදාම උදේ පාන්දරම අවදි වන ඇය නැවත නින්දට යනතුරුම නොනවත්වා වැඩ ය. එය සතියේ දිනයක් ද  සති අන්තයේ දිනයක් ද යන්න හෝ අසනීපයෙන් සිටින දිනයක් ද  නැද්ද යන්න ඇයට වෙනසක් නැත. එය නම් අම්මලාටම වෙන් වූ හැකියාවක් විය යුතුය.

අම්මා අපට හොඳ මවක් වෙන අතරම තාත්තාට හොඳ බිරිඳක් වූවායැයි මම විශ්වාස කරමි. වරක් තාත්තා ඇවිද ගන්නට නොහැකි තරමට අසනීප වූ කාලයක ඇය ඔහුව පොඩි දරුවෙකු බලාගන්නාක් මෙන් පරිස්සම් කළ අයුරු මට සිහියට නැගේ. අම්මා තාත්තාට බොහෝ සෙයින් ආදරය කළ බව මම දනිමි. ඔවුන් අතර ඇති වූ අඬදබරයක් හෝ බහින්බස්වීමක් ගැන මට කිසිවිටෙක මතකයක් නැත. ඒ අම්මාගේ ගතිගුණ නිසාවෙන්ම ය. එයට තාත්තා වුව ද එකඟ වනු ඇත.

අම්මා කිසිදිනෙක රෝස මල් හදන්නාක් මෙන් අප නොහැදුවේ පෙති හැලී පරවෙන නිසා යැයි මට ද සිතේ. බිමට ඇද වැටෙන හැම මොහොතකම දුහුවිලි ගසා දමා නැගිටින්නටත්, කඳුළු අතරින් සිනාසෙන්නටත් ශක්තිය ලැබුණේ අම්මාගෙන් බව මම තරයේ විශ්වාස කරමි. මගේ ලෝකයේ සඳු මෙන්ම හිරුත් අම්මා ය. ඇයට සම කළ හැකි හෝ ආදේශකයක් හෝ මම නොදකිමි.

ජීවිතයේ මට ලැබෙන්නට ඇති හොඳම තෑග්ග දැනටමත් මා සතු බව මට සිතේ. එහෙත් ඒ තෑග්ග  මගේ සහොදරියන්ටත් අයිති වීම නම්…. ඉහිලුම් නොදෙන්නකි….!

 

Image Courtesy- https://bit.ly/2Y3Pjzm

 
Tagged : /