ඔහුගේ සිත් ගත් තරුණිය පිළිබඳ විස්තර ඔහු ඇය සමග කීවේ ද මෙහි සිට ම ය. ඊට දෙදිනකට පසු සන්සුන් නිහඬ බවත්, සිහින් සිනාවත් මුසු මුහුණින් ඔහු වෙතට ආ ඇය කුඩා ලියුම් කවරයක් ඔහු අතට පත් කළා ය. “මේකෙ තියෙන්නෙ ඔයාට සුබ පතලා කවියක්… ඔන්න ඒ නංගි ව මටත් මුණ ගස්සන්න ඕනි හරි ද?” ඔහු ලියුම් කවරය තුළ වූ කවිය කියවන්නට වූවේ ය.
සිනහ රස ගඟුල් සැම පිරී නෙත දිලීලා
ඇගේ සුරතල් වදන්වලින් ලොව සැදීලා
නුඹේ උණුසුම් සිනා කැනින් හද පිරීලා
ඇගේ දින පිරෙනු ඇත තුටු ගඟුල් ගලාලා
බිඳෙන් බිඳ පසු වෙමින් කාලයත් ගෙවීලා
ඇගේ රුව ගුණ පුරා නුඹේ සිත බැඳීලා
හදේ නැගි හැඟුම් රළ වැලි අතර සඟවලා
නො ඉඳීවි ඉතින් නුඹ නොකියු ලෙස රැඳීලා
ඉතින් නො කියූ කතා මහ ගොඩක් ඇත අනේ
ලෙසින් පවසා ඇයට පවසන්න නුඹෙ සෙනේ
කෙසේ ඉවසා සිටිනු හැකි වේ ද ඒ පැනේ
සිනාවක් පැතිරේවි ඇගේ මුදු මුව දිගේ
හද තුළේ රඳවාන නුඹ නමින් බැඳි සෙනේ
දින ගැනන් හිඳිනු ඇත නුඹ ම පවසන දිනේ
කඳුළු බිඳු සැඟවිලා නො සැලෙමින් නෙත කොනේ
දිලෙනු ඇත ඇගෙ දෙනෙත් එදින මිණි කැට මෙනේ
අහසකට සඳ වෙලා ඉතින් නුඹ පායන්න
තරු කුමරි ලෙසින් ඇය ළඟ රැඳෙයි තනි යන්න
සිතේ රැඳි රිදුම් හැම සඳ දියෙන් සනහන්න
ඇගේ ලෝකය වෙලා නුඹත් තුටු වී ඉන්න
“හදෙහි දොර හරිමි මම නුඹේ හද පිළිගන්න”
පවසාවි එසේ ඇය, නුඹ ඇගේ පණ වෙන්න
“මගෙ ම වී ළඟ ඉඳින් සිත රිදුම් නො දැනෙන්න”
පතමි ඒ මුදු වදන් ඇගෙ මුවින් ගිලිහෙන්න
පෙර ලෙසින් ම ඒ කවිය ඔහුට ගෙන ආවේ සිනහවකි. නමුත් නුදුටු යමක් ඒ ලියුම් කවරයේ ලියා ඇත. ඔහුගේ හදවතට දැනුණේ සුවිසල් බරකි. ඇය දුන් සුබ පැතුම් කවිය කියවිය යුතු ආකාරය පිළිබඳ ඇය ලියා තැබූ සටහන වසර විසි පහකට පෙර ඔහුට මග හැරී තිබුණි !!!
හැංගුවා කතාවක් පවසන්න බැරි නිසා
අපි ළඟ ම තියා ගමු මේ රහස සඟවලා
මුල ඉඳන් කවිය යළි පෙළක් අරිමින් බලා
මට කියන් ඉතින් අපි කුමක් කරමු ද කියා
Image Courtesy: https://bit.ly/3bYfDnM