පිටස්තර ග්‍රහලෝක වර්ගිකරණය කරන්නේ කෙසේද? – 6

Share

 

වායු යෝධයන්ගේ තාපමය වර්ගීකරණය  ඉදිරිපත් කිරීම මෙම ලිපියේදී සිදු කරනු ලැබේ.
වායු යෝධයන්ගේ තාපමය වර්ගීකරණය (Thermal Classification of Gas Giants)
වායු යෝධයන් යනු ස්කන්ධයෙන් බ්‍රහස්පති හා ආසන්න වශයෙන් සමාන වන වායූන්ගෙන් සමන්විත ග්‍රහලෝක වේ. මෙම ග්‍රහලෝකයන්හි බාහිර තීරුන්හි (outer layers) උෂ්ණත්වය අනුව මෙම ග්‍රහලෝක වර්ගීකරණය සිදු කරනු ලන අතර ඒ සදහා එම ග්‍රහලෝකයන්හි වායුගෝලයන්හි හැසිරීම පිලිබද සිද්ධාන්තමය ආකෘති , රසායනික සංයුතිය පිලිබද දත්ත ,යම් යම් පිටස්තර යෝධ ග්‍රහලෝකයන්හි පරාවර්තන වර්ණාවලි මෙන්ම ඇල්බිඩෝ අගයන් (යම් ග්‍රහලොවක් වෙත ලැබෙන සඵල විකිරණයෙන් පරාවර්තනය කරනු ලබන සඵල විකිරණ ප්‍රමාණයේ අනුපාතය එම ග්‍රහලොවේ ඇල්බිඩෝ අගය ලෙස හැදින්වේ.) මේ සදහා පාදක කර ඇත.ඩේවිඩ් සුඩාර්ස්කි ( David Sudarsky ) විසින් මෙම වර්ගීකරණය ඉදිරිපත් කර ඇත..මෙම වර්ගීකරණය සුඩාර්ස්කි වර්ගීකරණය( Sudarsky classification) නමින් හදුන්වන අතර මේ අනුව වායුමය යෝධයන් කාණ්ඩ පහකට වෙන් කරනු ලැබේ.එනම් ,

  • පළමු කාණ්ඩය : ඇමයිනෝ වලාවන්(Class I:Amino Cloud
  • දෙවන කාණ්ඩය : ජල වලාවන් (Class II: Water Clouds)
  • තෙවන කාණ්ඩය : වලාවන් රහිත (Class III: Cloudless)
  • සතරවන කාණ්ඩය: ඇල්කලී ලෝහ වර්ණාවලීන් සහිත ග්‍රහලෝක(Class IV:Planets with strong Alkali Metal Spectrum)
  • පස්වන කාණ්ඩය : සිලිකන් වලාවන් (Class V:Silicon Clouds)

මෙම වර්ගීකරණයේදි නෙප්චූන් වැනි අයිස් ග්‍රහලෝක(icy planets) අයත් නොවන අතර සුපිරි පෘථිවීන්ද මෙම කාණ්ඩකරණයට ආවරණය නොවේ.මෙම වර්ගීකරණය Celestia මෘදුකාංගයේ භාවිතා කෙරේ.

පළමු කාණ්ඩය : ඇමයිනෝ වලාවන් (Class I: Amino Clouds)

මෙම ග්‍රහලෝකයන්හි වායුගෝලයේ උෂ්ණත්වය -1200 C වඩා පහල අගයක් ගන්නා අතර ,ඇමෝනියා වලාවන් ග්‍රහලොවේ වායුගෝලයේ ප්‍රමුඛ වේ. ස්වභාවයෙන් මෙම ග්‍රහලෝක එම සෞරග්‍රහ මණ්ඩලයන්හි බාහිර කලාපයේ පිහිටා ඇති අතර සූර්යයා වැනි තාරකාවක් වටා පරිභ්‍රමණය වන අවස්තාවකදී ඇල්බිඩෝ අගය 0.57 වැනි අගයක් මෙම ග්‍රහලෝක දරනු ලැබේ. මෙම ග්‍රහලෝකයන්හි උෂ්ණත්ව අගයන් තීරණය කරනු ලබන්නේ දුර්වල තාරකාවක පවැත්ම හෝ අදාල මව් තාරකාවට ග්‍රහලොවේ සිට ඇති දුර වේ. (අපගේ සූර්යයා වැනි තාරකාවක නම් තරුවේ සිට නක්ෂත්‍ර ඒකක 5 කින් වත් දුරකින් පිහිටිය යුතුය.  යම් හෙයකින් මෙම ග්‍රහලෝකයන්හි ස්කන්ධය ප්‍රමාණාත්මකව පවතී නම් ස්වයං ලෙස උණුසුම් වෙමින් වෙනත් කාණ්ඩයක් කරා සංක්‍රමණය සිදු වේ.මෙම කාණ්ඩයට අයත් ග්‍රහලෝක ලෙස බ්‍රහස්පති,සෙනසුරු ,47 Ursa Major c  හා HD 154345 b සැලකිය හැක.

 

දෙවන කාණ්ඩය : ජල වලාවන් (Class II : Water Clouds)

මෙම ග්‍රහලෝක වල උෂ්ණත්වය ඇමෝනියා වලාවන් නිර්මාණයට වඩා ඉතා ඉහල අගයක් දරා අතර මෙම ග්‍රහලෝකයන්හි වායුගෝලය ජල වලාවන්ගෙන් යුතු වේ. මෙම වලාවන් පාෂාණමය ග්‍රහලෝකයන්හි වලාවන්හි සැකැස්මට බොහෝ සෙයින් සමාන වන මුත් මෙම ග්‍රහලෝකයන්හි වායුගෝලය අධික වශයෙන් මෙතේන් ,හයිඩ්‍රජන් වලින් යුක්ත වීම හේතුවෙන් පාෂාණමය ග්‍රහලෝකයන්හි වායුගෝලයෙන් වෙනස් වේ. සාමාන්‍යයෙන් මෙම ග්‍රහලෝක වල උෂ්ණත්වය -200Cහෝ ඊට පහල අගයක් දරනු ලබන අතර මෙම ග්‍රහලෝක පවතින්නේ ඒ ඒ තාරකාවන්හි පෘථිවිය පැවතිය යුතු ස්ථානයට වඩා මදක් දුරින් වන ලෙසය. මෙම ග්‍රහලෝකයන්හි කුඩා වායුගෝලයන් හිමි අඟහරු හෝ පෘථිවි ප්‍රමාණයේ චන්ද්‍රයන් හට ජලය සහිත සාගරයන් රඳවා ගත හැකි බැවින් ජීවයට උචිත ස්ථානයන් ලෙසින් සැලකිය හැක. ජල වලාවන් ආලෝකය ඉතා හොඳින් පරාවර්තනය කරන හෙයින් මෙම ග්‍රහලෝක වල ඇල්බිඩෝ අගය 0.81 ට වඩා ඉහල අගයක් ගන්නා අතර මෙම කාණ්ඩයට අයත් ග්‍රහලෝක ලෙස 47 Ursa Major b,HD 28185 b සැලකිය හැක.

 

තෙවන කාණ්ඩය : වලාවන් රහිත (Class III: Cloudless)

මෙම ග්‍රහලෝක වල මතුපිට උෂ්ණත්වය 800 C ත් 5300 C අතර පවතින අතර මෙම අධික තාපය හේතුවෙන් ජල වලාකුළු නිර්මාණය සිදු කල නොහැකි අතර එලෙස වලාවන් නිර්මාණය සදහා කිසිදු ද්‍රව්‍යක්ද මෙම ග්‍රහලෝකයන්හි රැඳී නොපවතී. මෙම ග්‍රහලෝකයන්හි මෙතේන් හා වයුගෝලයේ රේලිගේ විසිරුම (Rayleigh scattering) හේතුවෙන් තද නිල් පැහැයෙන් යුතු අතර කිසිදු වෙනත් විශේෂ ලක්ෂණයකින් (faceless) තොර වේ.මෙම ග්‍රහලෝකයන්හි ඇල්බිඩෝ අගයන් 0.12 තරම් ඉතා අවම වන අතර සූර්යයා වැනි තාරකාවක් වටා භ්‍රමණය වන්නේ නම් එය බුධගේ කක්ෂය තරම් තාරකාවට ආසන්න කක්ෂයක පැවතිය යුතුය. මෙම කාණ්ඩයේ ඉහල උෂ්ණත්ව කාණ්ඩය එනම් 4300 C ඉහල කාණ්ඩයේ සිර්‍රස් වලාවන් (cirrus clouds) දැකගත හැකි අතර මෙම වලාවන් ග්‍රහලෝකයන්හි වායුගෝලයන් හි පවතින ක්ලොරයිඩ් හා සල්ෆේට් (chlorides and sulfates) මගින් ඇති වේ.මෙවන් ග්‍රහලෝක ලෙස Gliese 876 b හා Ipsilon Andromeda c ගැනිය හැක.

 

සතරවන කාණ්ඩය:  ඇල්කලී ලෝහ වර්ණාවලීන් සහිත ග්‍රහලෝක/ඇල්කලී ලෝහ වලාවන් (Class IV : Planets with strong Alkali Metal Spectrum/Alkali Metal Cloud)

වායු යෝධයන්ගේ උෂ්ණත්වය 6300 C වඩා ඉහල වීමත් සමග එම ග්‍රහලෝකයන්හි මෙතේන් වලට වඩා කාබන්ඩයොක්සයිඩ් මෙන්ම කාබන්මොනොක්සයිඩ් (carbon monoxide ) වායුගෝලයේ කාබන් ප්‍රභවය ලෙස වායුගෝලයේ ප්‍රමුඛ වේ.මෙම ග්‍රහලෝකයන් මව් තාරකාවට ඉතා ආසන්නව පිහිටන හෙයින් මෙම ග්‍රහලෝක “උණුසුම් බ්‍රහස්පතීන් (Hot Jupiters) ” ලෙසද හැදින්වේ. මෙවන් ඉහල උෂ්ණත්වයන්හිදී ඇල්කලී ලෝහ වාෂ්ප වන අතර ඉහත කාබන්ඩයොක්සයිඩ් හා කාබන් මොනොක්සයිඩ් වලට අමතරව මෙම ග්‍රහලෝකයන්හි වායුගෝලයන්හි ඇල්කලී ලෝහ වාෂ්පයන් අධික ලෙස සමන්විත වේ. මෙම ග්‍රහලෝකයන් යම් ප්‍රමාණයකින් සෝඩියම් හා පොටෑසියම් වලින් පොහොසත් අතර මෙම ඇල්කලී ලෝහ වාෂ්පයන්හි වායුගෝලීය පැවැත්ම එම ග්‍රහලෝකයන්හි වායුගෝලයන්හි වර්ණාවලීන්හි එම මූලද්‍රව්‍යයන්හි ප්‍රබල රේඛා හමු වීමෙන් තහවුරු වී ඇත.මෙහි එතරම් වලාවන් හමු නොවන මුත් වායුගෝලයේ පහල කෙලවරයන්හි අඳුරු සිලිකේට් හා යකඩ වාෂ්ප වලින් යුතු වලාවන් පවතින අතර ඒවා වර්ණාවලිය කෙරෙහි එතරම් බලපෑමක් එල්ල නොකරයි.මෙම ග්‍රහලෝක අතිශය අඳුරු ස්වභාවයකින් යුතු අතර ග්‍රහලොවේ අධි උණුසුම හේතුවෙන් එය ප්‍රභාමත් කිරීමට එම තාපය ප්‍රමාණවත් වීම මත අඳෘ අළු පැහැය රෝස පැහැ තීරු (slightly shades of rose) වලින් යුතු වේ.ඇල්කලී ලෝහ වාෂ්ප දැඩි ලෙස විකිරණ අවශෝෂණය කරන බැවින් මෙම ග්‍රහලෝක වල ඇල්බිඩෝ අගයන් 0.03 තරම් අගයක් ගනී.මෙම කාණ්ඩයට අයත් ග්‍රහලෝක ලෙස HD 189733 A b, 55 Cancer b, HD 209458 b හා TrES – 2 b ගැනිය හැක.

පස්වන කාණ්ඩය එනම් සිලිකන් වලා කාණ්ඩයේ වායු යෝධයන් හා ජනප්‍රිය සංස්කෘතියේ පිටස්තර ග්‍රහලෝක වර්ගීකරණයන් පිලිබද මීලඟ ලිපියෙන් පැහැදිලි කරනු ලැබේ.

මූලාශ්‍ර

1.https://clever-geek.github.io/articles/2041084/index.html#

2.http://infinitysedge.weebly.com/sudarsky-extrasolar-planet-classification.html

3.https://en.wikipedia.org/wiki/Sudarsky%27s_gas_giant_classification

ඡායා රූ මූලාශ්‍ර

1.https://phys.org/news/2018-05-views-jupiter-showcases-swirling-clouds.html

2.https://www.timetoast.com/timelines/extrasolar-planets

3.https://www.deviantart.com/alpha-element/art/Gliese-876b-283278172

4.https://alchetron.com/55-Cancri-b

5.https://www.deviantart.com/alpha-element/art/Azure-562225336

 
Tagged : / /