පිටස්තර ග්‍රහලෝක වර්ගීකරණය කරන්නේ කෙසේද-2?

Share

පෙර ලිපියේ පිටස්තර ග්‍රහලෝක වර්ගීකණයෙහිලා වැදගත් වන පිටස්තර ආවර්තිතා වගුව හදුන්වාදෙනු ලැබූ අතර, එහි හතරවන කාණ්ඩය හෙවත් කණ්ඩායමේ අවසාන කාණ්ඩය තෙක් ග්‍රහලෝක වර්ගීකරණය පැහැදිලි කරන ලදී. ඒ අනුව මෙහි සිට එම ආවර්තිතා වගුවේ යෝධ කණ්ඩායම(Gaint Group) පිලිබදව මෙන්ම වෙනත් වර්ගීකරණයන්ද පැහැදිලි කරනු ඇත.

පස් වන කාණ්ඩය

නෙප්චූනයන්(Neptunians) ලෙස හැඳින්වෙන පස් වන කාණ්ඩයේ සාමාජිකයන් තිදෙනා ප්‍රමාණයෙන් නෙප්චූන් හා සම වේ. බොහෝ විට පාෂාණමය ස්වභාවයට වඩා වායුමය ස්වභායකට ආසන්න මෙම ග්‍රහලෝක පෘථිවිය මෙන් 10 ගුණයත් 50 ගුණයත් අතර ස්කන්ධ ව්‍යාප්තියක් දරයි. එලෙසින්ම පෘථිවි අරය මෙන් 2.5-6 ත් අතර අරයන් ඇති මෙම ග්‍රහලෝක අධි ගුරුත්වය, අධි පීඩනය මෙන්ම අධි වායුමය ස්වභාවය හේතු කොට ගෙන ජීවයට සුදුසු ග්‍රහලෝක ලෙස නොසැලකේ. කෙසේ නමුදු මෙහි සාමාජිකයන් තිදෙනා Hot Neptunians, Warm Neptunians, Cold Neptunians ලෙස හැඳින්වේ.

හය වන කාණ්ඩය

යෝධ කණ්ඩායමේ අවසන් කාණ්ඩය වන මෙය බ්‍රහස්පතින් ලෙස සැලකේ. වායුමය යෝධයන් වන මෙම ග්‍රහලෝක ජීවය සදහා උචිත නොවුවද අන් ග්‍රහ වස්තුන්ගේ ජීවයේ පැවැත්ම උදෙසා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබේ. ඒ අනුව ජීවයට උචිත ග්‍රහලෝක දඩයමේදි මෙම ග්‍රහලෝක ඇති පද්ධතීන් කෙරෙහිද වැදගත් අවධානයක් යොමු වේ. පෘථිවියේ ස්කන්ධය මෙන් 50 ගුණයට වැඩි හා අරය 6 ගුණය ඉක්මවූ ග්‍රහලෝක මෙම කාණ්ඩයට අයත් වන අතර පිහිටන කලාපය අනුව Hot Jupiters, Warm Jupiters, Cold Jupiters ලෙස මේවා වර්ගීකරණය වේ.

කෙප්ලර් නිරීක්ෂණාගාරය හා පිටස්තර ග්‍රහලෝක දඩයමේ දැනට ඉහලින්ම සිටින දඩයම් කරුවා ලෙස සැලකෙන්නේ කෙප්ලර් නිරීක්ෂණාගාරය වේ. සංක්‍රාන්තී ක්‍රමවේදය හරහා ග්‍රහලෝක සෙවීමේ නිරත මේ උපකරණය මගින් සොයා ගන්නා ලද මෙන්ම ග්‍රහලෝක යැයි සැක කරන ලද වස්තූන්ගේ වර්ගීකරණය පහත වේ.

ඒ අනුව ක්ෂීරපථයේ සුලභම ග්‍රහලෝක විශේෂය ලෙස Terrans හෝ Superterrans ලෙස ගැනිය හැකි බව මින් පැහැදිලි වේ.

අපගේ සෞරග්‍රහ මණ්ඩලය හා ආවර්තිතා වගුව
අනිකුත් සෑම පිටස්තර ග්‍රහ මණ්ඩලයක් සේම අපගේ සෞරග්‍රහ මණ්ඩලයටද මෙම ආවර්තිතා වගුව වලංගු වේ. ඒ අනුව සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක, වාමන ග්‍රහලෝක හා චන්ද්‍රයන් මෙලෙස වර්ගීකරණය වේ.

අපගේ සෞරග්‍රහ මණ්ඩලය Miniterrans ග්‍රහලෝක වලින් පොහොසත් එකක් බව මින් පැහැදිලි වේ.

මෙම ආවර්තිතා වගුව ගොඩනැගෙන්නේ මව් තාරකාවක් සහිත පිටස්තර ග්‍රහ වස්තූන් සඳහා වීම මෙහි ප්‍රධානම අවාසිය වේ. මන්දයත් මව් තාරකාවක් නොමැති ග්‍රහලෝක විශ්වයේ පැවතීමත් ඒවා මව් තරු සහිත පද්ධති ගණනට වඩා ඉතා ඉහල අගයක් ගැනීමත්ය. ඒ අනුව මව් තාරකා සහිත හෝ රහිත ග්‍රහලෝක වර්ගීකරණය සඳහා තවත් වර්ගීකරණයක් කරා යොමු විය යුතු අතර එලෙස වර්ගීකරණයේදී,

1.පාෂාණමය ග්‍රහලෝක(Rocky Planets)
2.සුපිරි පෘථිවීන්(Super Earths)
3.සාගරමය ග්‍රහලෝක සහ කාන්තාරමය ග්‍රහලෝක(Ocean Planets and Desert Planets)
4.වායු යෝධයින්(Gas Gaints)
5.උණුසුම් බ්‍රහස්පතීන්(Hot Jupiters)
6.හුදෙකලා ග්‍රහලෝක(Rouge Planets)
ලෙසින් වර්ගීකණය කරනු ලැබේ.

පාෂාණමය ග්‍රහලෝක(Rocky Planets)

අපගේ සෞරග්‍රහ මණ්ඩලයට සේම අනිකුත් මණ්ඩල වලටද පොදු ස්වරූපයක් වන මෙම ග්‍රහ විශේෂය බොහෝ දුරට සැකසී ඇත්තේ සිලිකේට පාෂාණ හා ලෝහ වලිනි. බැර මුලද්‍රව්‍ය වලින් සමන්විත මේ ග්‍රහලෝක මතුපිට ඝන ස්වරූපයකින් යුතු හෙයින් සංකීර්ණ ජීවයන් නිර්මාණය වීම සදහා සුදුසු පසුබිම් ලෙස සැලකේ. එමෙන්ම මෙම ග්‍රහලෝක Terrestial Planets ලෙසින්ද හැඳින්වේ. විභේදන(Differentiation) ක්‍රියාවලියේ බලපෑම් හේතු කර ගෙන මෙම ග්‍රහලෝකයන්හි සැකැස්ම එකම ස්වරූපයක් ගනී. එනම් ග්‍රහලෝක නිර්මාණයේදි මෙම වස්තූන් මුළුමනින්ම වාගේ ද්‍රව අවස්තාවේ පවතින අතර ග්‍රහලොවේ ලෝහ වැනි බරින් අධික ද්‍රව්‍ය ග්‍රහලොවේ අභ්‍යන්තරයට කිදා බසින අතර, බරින් අඩු ඔක්සිජන්, සිලිකන් වැනි මූලද්‍රව්‍ය මෙම ලෝහමය හරට මතුපිටින් පාවීමට පටන් ගනී. ග්‍රහලොව කෙමෙන් සිසිල් වීමත් සමග ලෝහමය හරයක් හා සිලිකේට මැන්ටයක් හා කබොලක් නිර්මාණය වේ.

මෙම සෑම ග්‍රහලොවක්ම වායුගෝලයක් රහිතව ප්‍රභව වන අතර මව් තාරකාවේ සූර්ය සුළඟ මගින් වාෂ්පශීලී (Volatile) හා සැහැල්ලු වායු ග්‍රහ මතුපිටින් ඉවත් කරනු ලැබේ. එනමුත් ග්‍රහලෝකයන්හි සිදු වන ගිනි කදු විදාරණයන් හේතු කරගෙන හා ධූමකේතු ගැටීම් හේතු කරගෙන ග්‍රහලෝකයන්හි වායුගෝලයන් නිමැවෙන අතර මේ සදහා ග්‍රහලොව සතුව ප්‍රමාණවත් මට්ටමේ ගුරුත්වයක් ලබාදිය හැකි ලෙස වන ස්කන්ධයක් පැවතිය යුතුය. තාරීය සුළං මඟින් වායුගෝලයේ ඉහල කලාපයන්හි අණු ගසාගෙන යා හැකි බැවින් ප්‍රභල චුම්බක ක්ෂේත්‍රයක් පැවතීමද මෙවන් ග්‍රහලෝකයන්හි වායුගෝලයන් පැවතීමට බලපානු ලැබේ.

සුපිරි පෘථිවීන්(Super Earths)

පෘථිවියේ ස්කන්ධය මෙන් 1 ත් 10 අතර ස්කන්ධ ඇති මෙම ග්‍රහලෝක වල සිදු වන භූ තල ක්‍රියාකාරකම්(Tectonic) හේතුවෙන් ජීවයට වඩාත් උචිත ග්‍රහලෝක ලෙස සැලකේ. පෘථිවියට වඩා ප්‍රමාණයෙන් විශාල මෙම ග්‍රහලෝක ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට වෙන් වේ.

1.පෘථිවි අරය මෙන් 1.5 ට වඩා අඩු ග්‍රහලෝක-මෙම ග්‍රහලෝක ඉහල ඝනත්වයෙන් හෙබි සාගරමය(ජලය බහුල) ග්‍රහලෝක හෝ පාෂාණමය ග්‍රහලෝක (සිලිකන් බහුල ) ග්‍රහලෝක වේ.

2.පෘථිවි අරය මෙන් 1.5 ට වඩා වැඩි ග්‍රහලෝක-ඝනත්වයෙන් අඩු පාෂාණමය හරයක් හා විශාල, ඝනත්වය අධික වායුගෝලයන් සහිත කුඩා වායු යෝධයන් වේ.

මෙහි අනිකුත් ග්‍රහලෝක වර්ගීකරණයන් පිලිබඳ ඉදිරියට කතා කරනු ඇත.

මූලාශ්‍ර
1.http://www.sun.org/encyclopedia/exoplanets
2.http://phl.upr.edu/projects/habitable-exoplanets-catalog/media/pte

ඡායාරූ මූලාශ්‍ර
1.http://phl.upr.edu/projects/habitable-exoplanets-catalog/media/pte
2.https://phys.org/news/2018-09-classification-scheme-exoplanet-sizes.html
3.https://www.universetoday.com/127325/largest-rocky-world-found/

 
Tagged : / /