වියෝවුණු හිමියන් වෙත…..

Share

“තුම්මාසෙ දානෙ වැඩකටයුතුත් ඉවරවෙලා,බොහොම අමාරුවෙන් හිත හදාගෙන ඉන්නකොට තමයි, එක පාරටම හිත පාරගෙන, ආයෙම මගෙ මතකය අවදිවෙන්නෙ.”

තරුණ වයසෙදි  ගැහැනියකට මේ විදිහෙ ඉරණමක් අත් උනා කිව්වහම, සෑහෙන්ඩ ආත්ම විශ්වාසයක්, හයියක් ඕන නේද ඔය විදියට කොන්ද කෙළින් තියාගෙන ජීවත් වෙන්න, හිතා ගන්නත් අමාරුයි, අද කාලෙ හැටියට නම් ඔයා පරමාදර්ශී බිරිඳක්, කොටින්ම කීවොත් “යසෝදරාවක්”….

 

සුවඳ පැහැය රසයෙන් සුපිපුණු      මලකී

රොන් ගන්නට කැරකෙන මත් බිඟු කැලකී

පෙති හකුළා බිම හරවා ඉමි        වැළකී

ඔබ වෙනුවෙන් පේ වී මම හුඟ     කලකී

 

වෙන් නොවෙන්න තුරුල් වෙලා ගෙව් කාලේ

හදවත් පටලා පෙම් රස විඳි       තාලේ

නෙත ගැටිලා පැළැන්දු සුදු මල්     මාලේ

ඇඬුණා රාමුව පිහද්දි ගෙයි           සාලේ

 

මහත්තයගෙ යාලුවෝලු නොයෙකුත් පුවතෙර

කවදාවත් නොදැකපු අය අරගෙන   හරසර

මගෙ ගුණසැප සෙවුමට එති බොහෝම පිරිවර

ගොනා හැරෙද්දිම හඳුනමි නාටකෙ මනහර

 

එදා පෝරුවෙදි දිවුරපු අපේ        ප්‍රේමය

සදා කල්ම රකිනෙමි හිමි ඔබේ     නාමය

මෙදා බැතින් සිඳලා තුන් හිතින්    කාමය

යසෝදරාවත ගෙවනෙමි දැහැමින් සාමය

 

රෑ යහනෙදි තනිකම සීතල දැනෙනා        විට

මතක් උනා පෙර කල අපි ලබාපු පෙම් තුට

ඔබ නොමැතිව අද තනියම සැතපෙන විට මට

සියොළඟ පිච්චී නෙතඟට පිරුණි කඳුළු   කැට

 

හිත අස්සේ හංගපු මගෙ කතාව පවසන්න

හැමදාමත් රෑ හීනෙන් නොවරදවා    එන්න

ඔය දෑතින් තද කරගෙන දුරකට  ඇවිදින්න

අවසර දෙනු මැන හිමි ඔබෙ තුරුලට මට එන්න

 

Image Courtesy :https://bit.ly/37x0fcH

 
Tagged : / /