ආදරය, ජීවිතය සහ මායාව එකම සිංදුවකින්

Share

සමහර සින්දු, කවි, කතා තියනවා ඒවගෙ වචනවල මතුපිට තේරුමට වඩා එහා ගිය වචන අතර තේරුමක් තියෙන. එම නිර්මාණවලට සාවධානව සවන් දීම තුළින් ඒවාට සංවේදී විය හැකි යි. සංගීතය, වචන භාවිතය, මතුපිට අර්ථය, යටිපෙළ අරුත ආදී සියල්ල එක්වීමෙන් අලංකාර නිර්මාණයක් බිහි වෙයි. ගීත රස විඳින්නා ඔහුගේ ආධ්‍යාත්මය අනුව විවිධ මට්ටම් වලින් ගීතයේ අර්ථය ලබා ගනී. අත්තිඩියේ පුඤ්ඤරතන හිමියන් විසින් පද රචනය කළ, සංජීව් ලෝන්ලියෙස් මහතා විසින් ගායනය කරන “පිටකවරේ අමු සින්දුව” ගැන පොඩි කියවීමක් තමයි මේ blog එකෙන් ගේන්නේ..

“කණ විදලා කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේ

හිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ

පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිවුවේ”

පොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ”

අනුන්ව නිගමනය කිරීම සහ තමන් නිගමනයට ලක් වීම කිසිදා වැළක්විය නොහැක. අනුන් නිගමනය කිරීම සිදුවන තාක් කල් තමන්ව නිගමනයට ලක් වීම ද සිදු වේ. අනුන් නිගමනය කිරීම පිලිබඳ ගැඹුරින් කල්පනා කිරීමේ දී මතුවන කරුණක් වන්නේ එම නිගමන සියල්ල එම මොහොතට පමණක් වලංගු වන බවයි. මේ මොහොතේ අහිංසක, ඊළඟ මොහොතේ අංගුලිමාල විය හැකි ය. අනික් අතට එහෙම ගන්න නිගමන හැම එකක්ම අපි ගන්නේ අපේ දැනුමට සාපේක්ෂව සහ අපි බාහිර පුද්ගලයා process  කරන විදිහට සාපේක්ෂවයි. අනුන් නිගමනය කිරීම සහ තමන් නිගමනයට ලක්වීම ස්වභාවයයි. ගැටළු මතු වන්නේ එම නිගමනවලට අපි දෙන වටිනාකම් මතයි.

එම නිසා එම නිගමනවලට අප තදින් ඇලීම හෝ දැඩි සේ ප්‍රතික්ෂේප කිරීමෙන් ඉවත් වීමෙන් ගැටළු ඇති වීම අවම කරගත හැකිය. බාහිර ස්වරූපය අනුව  කන විදලා, කොණ්ඩේ පාට කරලා, වැරහැලි වැනි ඇඳුම් ඇඳගෙන මහ දවාලේ පාරේ ඇවිදින පුද්ගලයන්, මිනිසුන් හඳුන්වනු ලබන්නේ කුඩුකාරයන්, රස්තියාදුකාරයන් ලෙසයි. ගීතය පුරාම කතුවරයා පවසන වචනාර්ථයෙන් ප්‍රධාන අර්ථය නම් බාහිර ස්වරූපය වැනි මිනුම් දඬු වලින්  පුද්ගලයෙක් මැනීම නුසුදුසු බවයි. මෙහි දී මිනිසුන් බැසගෙන ඇති එක් අන්තයකට කතුහිමියන් පහර දෙයි. බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර සිටියේ හුදෙක් සිරිමත් ලා පමණක් නොවේ. මිනීමරුවන්, මංකොල්ලකරුවන්, සොරුන්, හිඟන්නන්, බේබද්දන්, ගණිකාවන්, සත්ව ඝාතකයන් වැනි එකල සමාජය පිළිකුල් කළ, අති දරුණු, හංවඩු ගැසූ පුද්ගලයන් ද ඒ අතර විය. බුදුන් වහන්සේ ද මෙලෙස බාහිර ස්වරූපයෙන් මොවුන් විනිශ්චය කළේ නම් කුමක් සිදුවන්නට තිබුණේ ද?

“පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිව්වේ…”

“වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ”

බුදුන් වහන්සේගෙන් බණ අසා සත්‍යාවබෝධ කළ අයගෙන් වැඩිම පිරිසක් මෙවැනි සමාජය විසින් හංවඩු ගැසූ පුද්ගලයන්  වේ. සමාජය විසින් පුද්ගලයන් දරුණු, පිළිකුල් සහගත පුද්ගලයින් ලෙස හංවඩු ගැසීම අන්තගාමී වීමකි. එය සැමවිටම බාහිර ස්වරූපයෙන් පුද්ගලයෙකු මැනිය හැකි බව සිතීම යන වැරදි දෘෂ්ටියයි. එවැනි පුද්ගලයන් අතර ද සත්‍යාවබෝධ කිරීමට තරම් හැකියාවක් ඇති පුද්ගලයින් සිටිය හැකි බව පෙන්වා දෙමින් කතුහිමියන් එම දෘෂ්ටිවාදයට පහර දෙමින් සවන් දෙන්නා මධ්‍යස්ථ කිරීමට උත්සාහ කරයි. මිනිසුන් බාහිර ස්වරූපයෙන් අනෙකා පිළිබඳ නිගමනය කිරීම අන්තගාමී බව කතුහිමියන් පෙන්වා දෙයි. බුදුන් වහන්සේ ද ද්වෛතය (duality) දේශනා කරමින් සිදු කළේ ද ශ්‍රාවකයා මධ්‍යස්ථ කිරීමයි. මධ්‍යස්ථ මනසකට පමණ යි සත්‍ය වෙත ළඟා විය හැක්කේ..

“පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා

නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා”

රාමා – සීතා කියපු ගමන් අපිට මතක් වෙන්නෙ LOVE STORY එකක්.

What is LOVE? කියලා ප්‍රශ්නයක් ඇහුවොත් කෙනෙක්ගෙන් ඇහුවොත්, ඒ ප්‍රශ්නයට එක එක්කෙනා එක එක වෙනස් විදිහේ උත්තර ගොඩක් දෙනවා. ඒ නිසා ඒක සාපේක්ෂ දෙයක්. ඇත්තටම ඒක එහෙම වෙන්න ඕනේ. මොකද මිනිස්සු හැමෝම දකින්නේ එකම ලෝකය නෙමෙයි. මම දකින ලෝකයමයි ඔබ දකින්නේ කියන්න ඔබට බැහැ. එහෙම නම් හැමෝටම ආදරයට එකම අර්ථදැක්වීමක් තියෙන්නේ ඕනේ. ඒත් එහෙම නෑනේ…

ආදරයට එක එක්කෙනා එක එක විදිහට අර්ථදැක්වීම් දෙනවා. ඒ එකක්වත් වැරදියි කියන්න අපිට බැහැ. ඒ හැම එකක්ම නියෝජනය කරන්නේ ඒ පුද්ගලයාගේ මානසික මට්ටම සහ තමන් ලෝකය දකින විදිහයි. ආදරයට මම අර්ථකථනයක් දෙන්නම්. ඒත් ඒක පිළිගන්න හරි, ප්‍රතික්ෂේප කරන්න හරි හදිස්සි වෙන්න එපා. සාවධානව සවන් දීම පමණක් ප්‍රමාණවත්.

ආදරය කියන්නේ බහුතරයක් ළඟ තියන අඩුවක් සහ ඉතා සුළුතරයක් ළඟ වැඩිපුර තියන දෙයක්. ඒක ඇත්තටම කිව්වොත් අපේ හිතේ ඇතිවෙන සැනසිලිදායක, නිදහස් හැඟීමක්.

මම උදාහරණයක් ගන්නම්,

අපි හිතමු කොල්ලෙක්ට කෙල්ලෙක් set වෙනවා. ඒ කෙල්ල දක්ෂ වෙනවා කොල්ලගේ හිතේ සතුටක්, සැනසිලිදායක,නිදහස් හැඟීමක් ඇතිකරන්න. එතකොට අර කොල්ලා කියනවා. මම එයාට ආදරෙයි කියලා. ඒ වගේම කොල්ලා නිසා අර කෙල්ලගේ හිතෙත් සතුටක්, නිදහස්, සැනසිලිදායක හැඟීමක් ඇති වෙනවා. එතකොට කෙල්ලත් කියනවා මම එයාට ආදරෙයි කියලා.

මුලදි එහෙම උනත් හැමදාම ඒක එකම විදිහටම, එකම ප්‍රමාණයට තියෙන්නේ නැහැ නේ. ටිකක් කල් යනකොට කෙල්ල කොල්ලා ගැන care කරනවා අඩු වෙන්නෙ පුළුවන්, සතුට ඇති වෙන දේවල් වෙනුවට දුක ඇතිවෙන දේවල්, එපා වෙන දේවල් කරන්න පුළුවන්. එතකොට කොල්ලා කියනවා මම එයාට ආදරේ නැහැ කියලා…

මේක තමයි බහුතරයක් ළඟ තියන ආදරය. ඇයි මං ඒක අඩුවක් කියලා කිව්වේ? මොකද අපි ඒක පිටින් හොයන නිසා. අපි පිටින් දෙයක් හොයන්නෙ අපි ගාව ඒ දේ තියන අඩුවක් නිසයි. අනිත් කෙනත් එයා ළඟ තියන අඩුවක් නිසා ආදරය පිට කෙනෙක්ගෙන්  හොයනවා. මේ විදිහට බැලුවම ඇත්තටම ආදරය කියන්නේ deal එකක්. දෙන්නා වෙන වෙනම තමන්ගේ අඩුව සම්පූර්ණ කරගන්නවා.

ඇත්තටම අපි ආදරේ කරලා තියෙන්නේ අපිටමයි. වෙන කෙනෙක්ට නෙමෙයි. අපි හැමතිස්සෙම මෙතනදි වෙන කෙනෙක් තුළින් බලාපොරොත්තු වෙලා තියෙන්නේ අපේ සිතේ ඇතිවන සතුටුදායක, සැනිලිදායක, නිදහස් හැඟීමක්. අපි ඒ හැඟීමටයි කැමති. එතකොට තමයි අපි කියන්නේ අපි ඒ හැඟීම ඇතිකරන්න හේතු වුණු කෙනාට ආදරෙයි කියලා. ඒ හැඟීමට හේතු ඇති කරන පුද්ගලයා තවදුරටත් ඒ හේතු ඇති කරන්න අසමර්ථ වෙනකොට අපි කියනවා එයාට ආදරේ නැහැ කියලා. මේක තමයි බහුතරයක් මිනිස්සු ආදරය කියලා අර්ථකථනය කරන්නේ.

මේක වැරදියි කියලාවත්, හොඳ නැහැ කියලාවත් මම කියන්නේ නැහැ. මේක ඇත්තටම deal එකක්නේ. ඉතින් මේක deal එකක් කියලා දැනගත්තාම දෙන්නටම වෙනදාටත් වඩා හොඳට deal එක කරන්න පුළුවන්. ඒකෙන් අනවශ්‍ය ප්‍රශ්න ටිකක් හරි අඩුවෙන්න පුළුවන් නේද?

බුදුන්, ක්‍රිෂ්ණා, ජේසුස් වැනි අයත් ආදරය ගැන කතා කරලා තියනවා. එහෙනම් පහළ මට්ටමේ deal එකකට එහා ගිය දෙයක් ආදරය තුළ තියෙන්න ඕනේ. භගවත් ගීතාවේ ක්‍රිෂ්ණා මෙහෙම සඳහනක් කරනවා.

“He who has no attachments,

 can really love others

For his love is pure and divine”

මං  කලින් කිව්වා  ආදරය බහුතරයක් මිනිස්සු ළඟ ඇති අඩුවක් කියලා. ඒ වගේ ම ඉතාමත් සුළුතරයක් ළඟ වැඩිපුර ඇති දෙයක් කියලා. මම කලින් සඳහන් කළ ආදරය හැමවිටම අනෙකා තමන්ගේ සිත තුළ සතුටක්, සැනසිලිදායක, නිදහස් හැඟීමක් ඇති කිරීම යන කොන්දේසියට යටයි. නමුත් බුදුන්, ජේසුස් හෝ ක්‍රිෂ්ණා පවසන ආදරය ඒවැන්නක් නොවේ.

ජේසුස් කුරුසයේ තබා ඇණ ගැසුව ද මොවුන් හට සමාව දෙන ලෙස ඉල්ලා සිටියේ ය. බුදුන් බුද්ධත්වය ලබා පැමිණි කළ, සියල්ලන් පිළිගැනීමට පැමිණියත් යශෝධරාවන් පැමිණියේ නැත. එසේ වුව ද බුදුන් තනිව ගොස් යශෝධරාවන් හමු විය. යශෝධරාවන් දේහය අසළ ද තුන් රැයක් තනි රැක්ක බව සඳහන් වේ. මෙලෙස බුදුන්, ක්‍රිෂ්ණා, ජේසුස් ආදී බොහෝ ආගමික ශාස්තෘවරුන් ද ආදරය ගැන කතා කළා නම් එහි යම් පාරිශුද්ධ ස්වභාවයක් තිබිය යුතු ය. එය මුනිවරයෙකුගේ ආදරයයි. එය කොන්දේසි විරහිත ආදරයයි.

බුදුන්, ජේසුස් හෝ ක්‍රිෂ්ණා තුළ ආදරයට කොන්දේසි හෝ බලාපොරොත්තු තිබුණේ නැත. ඔවුන් පෙර පැවසූ ඉතාමත් සුළුතරයට අයත් පිරිසයි. ඔවුන් තුළ ආදරය අතිරික්තව තිබුණි. එමනිසා අනෙකාට දිය හැකි විය. තමන් තුළ නැති දෙයක් දෙන්නේ කොහොමද? දිය හැක්කේ තමන් තුළ ඇත්නම් පමණි.

ඔබගේ ආදරය කොන්දේසි මත සකස් වූවක් නම් කොන්දේසි නැති වී ගිය කල ආදරය ද නැති වී යයි. එයයි බහුතරයක් මිනිසුන් ආදරය කියා කරන ගනුදෙනුව. එය සැබවින්ම ගනුදෙනුවක්. බහුතරයක් දෙනා තමන් තුළ පවතින ආදරයේ අඩුව නිසා ආදරය පිටතින් සොයයි. තමන් තුළ ආදරය පවතී නම් ආදරය පිටතින් සෙවීමට අවශ්‍යතාවයක් නොමැතියි, මෙන්ම එය තමන් තුළ පවතින යමක් නිසා පිටතට දිය හැකියි. එයයි කොන්දේසි විරහිත ආදරය. එලෙසයි මුණිවරුන් ආදරය කළේ.

ඔබ ඔහුට හෝ ඇයට ආදරය කිරීමට හේතුව හිතින් විමසා බලන්න..

“He who has no attachments, can really love others”

මෙහිදී ක්‍රිෂ්ණා ආදරය ලෙස අර්ථ දක්වන්නේ කොන්දේසි විරහිත ආදරයයි. බැඳීම් ස්වභාවික වන අතර බැඳීම අස්වාභාවික වේ.බැඳීම්වලට හේතු නොමැතියි. ඒවා අවිඥානිකයි. බැඳීම අස්වාභාවික වන අතර එයට හේතුවක් පවතී. එය සවිඥානිකයි. ඔබ ඔහුට හෝ ඇයට ආදරය කිරීමට හේතුවක් පවතී නම් ඔබ එම හේතුවට තදින් බැඳී ඇත. එම බැඳීම (ආදරයට හේතු වන කොන්දේසි වලට තදින් ඇලීම) අස්වාභාවික වේ. සැබැවින් ම ආදරය කළ හැක්කේ කොන්දේසිවලට එවැනි අස්වාභාවික බැඳීමක් නැති විට බවයි ක්‍රිෂ්ණා පවසන්නේ.

“For his love is pure and divine

කොන්දේසිවලට නොබැඳුණු පුද්ගලයෙකුගේ ආදරය පාරිශුද්ධ සහ දිව්‍යමය  බවයි ඔහු පවසන්නේ.

“පිටුව පෙරළුවට සීතා, පොත දන්නවා රාමා”

කොන්දේසි විරහිත ආදරය සැබවින්ම ශ්‍රේෂ්ඨයි. එහි පදනම නිදහසයි. බහුතරයක් අනෙකාට ආදරය කරන්නේ, ඔවුන්ගේ ආදරය, අවංක භාවය, තමන් පිළිබඳ සැලකිල්ල   පෙරළා බලාපොරොත්තු වෙමිනුයි.

ඔබට හැකියි ද ඔබට ආදරය නොකරන, ඔබට වෛර කරන පුද්ගලයෙකුට ආදරය කිරීමට?

ඔබට හැකියි ද ඔබට නොසැලකිල්ලක් දක්වන, ඔබට බොරු කරන, ඔබට වංචා කරන පුද්ගලයෙකුට ආදරය කිරීමට?

අපි පොඩි thought experiment එකක් කරමු. ඔබ සතු සියලු දැනුම මදකට පසෙකින් තබන්න. ඔබ ආදරය පුද්ගලයෙක් මතක් කරගන්න. ඔබ ඔහුට හෝ ඇයට ආදරය කිරීමට හේතුව ඔබෙන්ම විමසන්න. බොහෝ විට එක්වරම ඔබට හේතුවක් සිහි වේවි. දැන් එම පුද්ගලයා එලෙසම සිටියදී එම හේතුව ඔහුගෙන් හෝ ඇයගෙන් ඉවත් කරන්න. දැන් එම හේතුව රහිත ඔහුට හෝ ඇයට ඔබ තවදුරටත් ආදරය කරනවාද??

පිළිතුර ඔව් නම් ඔබට ඇත්තේ කොන්දේසි විරහිත ආදරයකි. එය කිසිදා ඔබව පීඩාවට පත් නොකරයි. එය ඇත්තේ මුණිවරුන්ට පමණක් නොවේ. ඉතා කලතුරකින් සාමාන්‍ය මිනිසුන් තුළ ද එය දැකිය හැකිය.

උදාහරණ කිහිපයක් සළකා බලමු.

1) මෙය මගේ ගුරුවරයෙක් (වෛකල්පික වෛද්‍යවරයෙක්) විසින් මට පැවසූ සත්‍ය සිද්ධියකි. දිනක් ඔහුගෙන් ප්‍රතිකාර ගැනීමට ඉතා රූමත් කාන්තාවක් සිය ස්වාමි පුරුෂයා රැගෙන පැමිණියා ය. රෝගියා දෑත් අහිමි යුද්ධයේ දී අබාධිත වුණු රණවිරුවෙකි. ඔහුට පා සෙලවීමට හෝ කතා කිරීමට හෝ නොහැකි විය. සෙලවිය හැකි වූයේ ඇසිපිය පමණි. ඇයගේ බිරිඳට අවශ්‍ය වූයේ කෙසේ හෝ සිය ස්වාමි පුරුෂයා සුවපත් කර ගැනීමටයි. එම ස්ත්‍රිය ඉතා රූමත් නිසාත්, එම රෝගියාගෙන් ඇයට කිසිවක් බලාපොරොත්තු විය නොහැකි නිසාත්, තමාට එම රෝගියා සුවපත් කළ නොහැකි නිසාත් වෛද්‍යවරයා එම කාන්තාවගෙන් මෙලෙස ඇසීය.

වෛද්‍යවරයා :- ඇයි ඔයා මෙයාව බැන්ඳේ ?

(එම කාන්තාව මද වේලාවක් වෛද්‍යවරයා දෙස බලා සිට)

කාන්තාව :- සර් වගේ කෙනෙකුත් මගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහන්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ. ඒ මං මෙයාට ආදරේ නිසයි…

වෛද්‍යවරයා :- ඔය දෙන්නා ආදරේ කරලා ද බැන්දේ?

කාන්තාව :- ඔව්

වෛද්‍යවරයා :- ඔයාලා විවාහ වුණේ මෙයා අබාධිත වෙන්න කළින් ද? පස්සෙද?

කාන්තාව :- ආබාධිත වුණාට පස්සේ..( කාන්තාව සිය ස්වාමි පුරුෂයාගේ කකුලේ ඇඟිල්ලක දමා ඇති මඟුල් මුද්ද පෙන්වූවාය)

වෛද්‍යවරයා :- මේ විවාහයට ගෙදරින් කැමැති වුණාද?

කාන්තාව :- නැහැ සර්. මං මෙයා නිසා ගෙදර අය අත්තැරියා…

මෙම කතාව පවසමින් අපට ඔහු කියා සිටියේ ආදරය ගැන ඔහු පෙර සිතා සිටි ආකාරය සම්පූර්ණයෙන් ම වෙනස් වූ බවයි.

” නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා..”

ඔහුගෙන් ඇයට බලාපොරොත්තු විය හැක්කේ ඇසිපිය ගැසීමක් පමණි. නමුත් තමන් සතු සියලු දේද අතහැර ඇය ඔහුව තෝරාගෙන ඇත. එය කොන්දේසි විරහිත ආදරයයි.

2) තවත් උදාහරණයක් ලෙස අබාධිත දරුවෙකුට දෙමව්පියන් දක්වන ආදරය ද එවැන්නකි. එවැනි දරුවෙක්ගෙන් ඔවුන්ට සිනහවක් හෝ බලාපොරොත්තු විය නොහැක.

කොන්දේසි විරහිත ආදරය, ආදරයේ පාරිශුද්ධම ස්වභාවය වුණත් හැමෝටම ඒකට යොමු වෙන්න කියල මම කියන්නේ නැහැ. ඒක ප්‍රායෝගිකව ලේසි දෙයක් නෙමෙයි. නමුත් අනික් සියලුම ආදරයන් ගනුදෙනු බව තේරුම් ගැනීමෙන් එතැන දී වෙන ගැටුම් අවම කරගන්නත්, සතුටින් ජීවත් වෙන්නත් පුළුවන් වෙයි.

“ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා..”

සමස්ත සමාජයම කෝමාවක සිටියි. සමස්ත සමාජයේ බොහොමයක් සිතන්නේ ඔවුන් සියලු දෙනාම දකින්නේ එකම ලෝකයක් බවයි. එය පිටත තිබෙන ලෝකය බව ඔවුන් සිතයි. අප අත්දකින ලෝකය කුමක් දැයි තේරුම් ගැනීමට තවත් thought experiment එකකට යමු.

සිතන්න ඔබේ ඇස් පෙනීම නැති වෙනවා. ඇසින් දකින ලෝකය ඔබට දැන් නොමැත.

ඔබේ කන් ඇසීම නැති වෙනවා. කනෙන් ඇසෙන ලෝකය ඔබට දැන් නොමැත.

මෙලෙස දිව, නාසය, සමට දැනෙන ස්පර්ශය යන සියල්ල නැති වූ කල ඔබට සංවේදනය කළ හැකි ලෝකයක් නොමැත. නමුත් තවමත් ඔබට සිතුවිලි හරහා ලෝකය ගොඩනැගිය හැක. යම් විටෙක ඔබේ සිත ද අක්‍රීය වුවහොත් ඔබට ලෝකයක් දැනේවි ද?

එලෙසම ලෝකය ඇති වන හැම විට ම මම යන හැඟීම ද ඇති වේ. ඉන්ද්‍රියන් සහ සිතේ ක්‍රියාකාරීත්වය නැති නම් එම හැඟීමට කුමක් ද වන්නේ?

එලෙසම අප දකින ලෝකය සිහිනයක් යැයි යමෙකු කිවහොත්, ඔබ එය ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද? අප ගන්නා සියලු සංවේදන සිහිනයකදී ද එලෙසම ලැබිය හැකිය.  එවැන්නක් පිළිගන්නට හෝ ප්‍රතික්ෂේප කිරීමට නොකියමි. මදක් සිතා බලන්න. මුල සිටම සිදුවූ යම් වරදක් නිසා අප ජීවිතය යැයි කියන අපගේ සංස්කරණය කෝමාවක් විය නොහැකිද? මම ප්‍රශ්නාර්ථයක් පමණක් තබමි. ඔබද පිළිතුර සොයන්න. මමද පිළිතුර සොයන්නම්…

“සඳ මතින් ඇවිද ගිය වි⁣ටෙකදී ඉඳුවර නෙතු අතරේ

කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ

වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ

මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ”

“දඬු මොණර පිටින් ඉඟිලිලා යන යකඩ හීන මළුවේ.

මල් පිපෙන වාර බෝමැයි සිත් කැනබි සුවඳ ගැලුවේ.

උන් හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙලුවේ”

මත්ද්‍රව්‍ය භාවිතා කළ පමණින් පුද්ගලයෙක් අයහපත් වන්නේවත්, එසේ නොකළ පමණින් යහපත් වන්නේවත් නොමැත. එම නිසා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පිළිබඳ වුව ද පිටතින් බලා නිගමනයකට ඒමට හදිස්සි විය යුතු නොවේ. සමහරවිට ඒ බේබදු මිනිසා තුළ ද සොඳුරු මිනිසෙක් ජීවත් විය හැකිය. මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ මධ්‍යස්ථ මතයක් තිබුණත් වැරදි තේරුම් ගැනීම් නිසා හානියක් සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බැවින් මෙහිදී එය ඉදිරිපත් නොකරමි. මම කිසි විටෙකත් මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය නොකරමි. එසේ සිදු කරන්නේ එයින් සිදු විය හැකි හානිය දන්නා බැවිනි.

“මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා.”

කතුහිමියන් ගීතය අවසානයේ දී තම ගීතයේ මුඛ්‍ය අර්ථය ඍජුවම ඉදිරිපත් කරයි.

“අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ..”

බොහෝ දෙනා මෙම ගීතයේ වචන වල මතුපිට අර්ථයෙන් සරල ලෙස ගත්තත්, වචන අතර මා දුටු ගැඹුරු අර්ථයන් කිහිපයක් මෙලෙස ඉදිරිපත් කළෙමි. එය සමහරවිට කතුවරයා පවා නොසිතන්නට ඉඩ ඇත. මෙවැනි ගුණාත්මක නිර්මාණයක් කිරීම වෙනුවෙන් කතුහිමි ඇතුළු ගායක කණ්ඩායමේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි.

අවසානයේ ඔවුන්ගේ ප්‍රධානම අභිප්‍රාය නැවත මතක් කිරීම වටී…

“DON’T JUDGE A BOOK BY IT’S COVER”

Written By : Lakshan Ranathunga

Image Courtesy :

Featured Image : https://bit.ly/3O4Qg6v

Content Image 1 : bit.ly/3HkiWEC
Content Image 2 : bit.ly/3vFfQsx
Content Image 3 : bit.ly/423pFMW
Content Image 4 : bit.ly/3vMbIXt
Content Image 5 : bit.ly/48QY7MS
Content Image 6 : bit.ly/3O4IHN8
Content Image 7 : bit.ly/3vE3aSz
Content Image 8 : bit.ly/3O1iBL6
Content Image 9 : bit.ly/3vDz0yV
Content Image 10 : https://bitly.ws/39Z7f
Content Image 11 : bit.ly/3S9iCOm

 
Tagged : / /