නිර්මල බුදු දහම ලක්දිවට උරුම වුණු පොසොන් පොහොය බැති සිතින් සමරමු

Share

එදා පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයකි.

‘තිස්ස, තිස්ස’

මිස්සක පව් මස්තකයෙන් නික්මුණු හඬෙහි පැවතියේ සිත නිවන ශාන්ත ස්වභාවයකි. එනමුත් ඒ ස්වරයෙන් කැළඹීමට පත් වූ එකල ලක්දිව රජ කළ දෙවන පෑතිස් රජුගේ සිතෙහි නම් පැහැදීමක් ඇති කරන්නට එම ස්වරය සමත් නොවී ය. එයට හේතුව, මුළු ලක්දිව ම රජ කළ තමාගේ නමින් ආමන්ත්‍රණය කිරීමට තරම් බලවතෙකු මේ ලක්දිව නොමැති බැව් සක්සුදක් සේ පැහැදිලි බැවිනි. දෙවන පෑතිස් රජතුමා මුවෙකු පසුපස පන්නමින් කාර්යබහුල ව සිටියේ එය හුදෙක් විනෝදය සඳහා ම පමණක් නොව එකල ලක්දිව රජ පරම්පරාවෙහි කලක පටන් පැවති චාරිත්‍රයක් ද වූ නිසාවෙනි. එකළ ලක්දිව ජන සමාජය මිත්‍යාදෘෂ්ටික ඇදහීම් වලින් පිරුණු සුසිරිතට පළමුව දුසිරිත ම වැජඹුණු යුගයක් බව කියාපාන්නට දෙවන පෑතිස් රජතුමාගේ ක්‍රියාකලාපය ම ප්‍රමාණවත් විය.

ලක්දිව දෙවන පෑතිස් රජතුමන් රාජ්‍ය කරන කල්හි දඹදිව රජකම් කළේ ධර්මාශෝක රජතුමන් ය. කාලිංග යුද්ධයෙන් ඇති වූ චිත්ත පීඩාව සමනය කරගනු වස් බුදු දහමට නැඹුරු වූ ධර්මාශෝක රජතුමන් විසින් අසල්වැසි රාජ්‍යයන් වෙත ද බුදුදහම රැගෙන යාමට කටයුතු කරන ලදී. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, ධර්මාශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහයෙන් අසල්වැසි දේශයන් නවයක බුදු සසුන පිහිටුවීමට කටයුතු යෙදුණි.

ඒ අනුව මේ මහා භද්‍ර කල්පය තුළ බිහි වූ සතරවන සම්බුද්ධ රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් වූයේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ ධර්ම දූත මෙහෙවරෙහි ප්‍රතිඵලයක් වශයෙනි. ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුත් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඉට්ඨිය, උත්තිය, සම්භල, භද්දසාල යන මහරහතුන් පිරිවරා සුමන සාමණේරයන් සහ භණ්ඩුක උපාසක යන පිරිවර සමඟින් උදේනි නුවර සිට මිස්සක පව්වට අහසින් වැඩම කළ සේක.

‘තිස්ස, තිස්ස’ යනුවෙන් දෙවන පෑතිස් රජතුමන් ආමන්ත්‍රණය කළේ අනුබුදු මිහිඳු මාහිමිපාණන් වහන්සේ ය.

ඉන්පසු උන්වහන්සේ,

‘ සමණා මයං මහාරාජ

ධම්මරාජස්ස සාවකා

තමේව අනුකම්පාය

ජම්බු දීපා ඉධා ගතා ‘

‘මහරජ, අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු.’

යනුවෙන් තමන් වහන්සේ ලක්දිවට වැඩම කළ හේතුව දෙවන පෑතිස් රජතුමන් හට පැහැදිලි කර දුන් සේක. ඉන් අනතුරුව දෙවන පැතිස් රජතුමන් ප්‍රමුඛ සතළිස් දහසක් පිරිවරට බුදු හිමියන් විසින් දේශනා කරන ලද මජ්ඣිම නිකායේ චුල්ල හත්ථි පදෝපම සූත්‍රය දේශනා කරන ලදී.

ඒ අනුව ගස් ගල්වලට වැඳුම් පිදුම් කරමින් ආගමක් දර්ශනයක් නොමැති ව දිවි ගෙවූ ශ්‍රී ලාංකික ජන හදවත් වලට අමා මහ බුදුපියාණන් වහන්සේ දේශනා  කරන ලද ශ්‍රී සද්ධර්මයේ ආනුභාවය ලබන්නට වාසනාව සැලසුණේ ඒ අයුරිනි. එය සිදු වූයේ අද වන් පොසොන් පොහෝ දිනක වීම නිසාවෙන් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව වෙසක් පොහොය සේ ම පොසොන් පොහොය ද ඉතා වැදගත් දිනයක් කොට සලකනු ලබයි. එසේ ම ශ්‍රී ලාංකික ජනතාව මිහිඳු මහරහතන් වහන්සේ, ‘අනුබුදු මිහිඳු හිමි’ යනුවෙන් ගෞරව පූර්වක ව අමතන්නේ ද, ශ්‍රී ලංකාවාසී ජනතාවට අමා දම් කඳෙහි ආශිර්වාදය ලබන්නට හැකි වූයේ ද, මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කිරීම හේතුවෙනි.

මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කොට මෙරට බුදු සසුන පිහිටුවීම හැරුණු කොට, පොසොන් පොහොයේ තවත් වැදගත්කම් කිහිපයක් ම ශාසන ඉතිහාසයෙහි සනිටුහන් ව ඇත.

  • සිද්ධාර්ථ බෝධිසත්වයාණන් දුටු සතර පෙර නිමිති වලින් තුන්වැනි නිමිත්ත වූ මළමිනියක් දර්ශනය වූයේ අද වැනි පොසොන් පොහෝ දිනයක යි.
  • බෝසතාණන් වහන්සේ බුදු බවට පත් ව සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිඳිමින් ධර්මය මෙනෙහි කරන විට බුදුරදුන්ගේ ශරීරයෙන් සවනක් ගණ බුදුරැස් විහිදීම ද පොසොන් පොහෝ දිනක සිදු විය.
  • ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වූ භණ්ඩුක උපාසකයන්ගේ මහණ උපසම්පදාව ද අද වැනි පොසොන් පොහෝ දිනක සිදු විය.

පොසොන් සඳ මඳින් මඳ නැගී අහස අරා වැජඹෙයි. පෝ දා සඳ කිරණෙන් නැහැවෙන ලෝවාසී බෞද්ධ දනන්ගේ හදවත් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳ වෙයි. මිහිඳු මාහිමිපාණන් ගේ ආගමනයෙන් බොහෝ කාලයක් ඉක්ම ගිය ද, උන්වහන්සේ අපට දායාද කළ ශ්‍රී සද්ධර්මය අදටත් ලක්වැසි බෞද්ධ ජනයාගේ සිත් දැහැමින් පුරවාලන්නාහු ය. දුසිරිත පරදා සුසිරිත ඔප්නංවන්නට, දනන්ගේ සිත් කෙලෙසුන්ගෙන් මුදවා පින් සිතිවිලිවලින් පුරවන්නට, සමත් වූ ඒ නිර්මල බුදුදහම අපට ලැබුණු අද වැනි පොසොන් පුන් පොහෝ දිනයක, ආමිස ප්‍රතිපත්ති පූජාවන් හි නිරත වී මෙලොව පරලොව සුව සෙත සාදා ගන්නා ලෙස ඉල්ලා සිටිමු. වදන්වලින් පැහැදිලි කළ නොහැකි වූත්, මනස දියුණු කරගත් සත්ත්වයන් හට පමණක් අවබෝධ කරගත හැකි වූත්, මේ උතුම් බුදු දහම මදක් හෝ අවබෝධ කරගන්නට උත්සාහ කරන අතර ම මතු පරපුර වෙත දායක කරන්නට ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ද මේ පින්බර පොසොන් පෝ දිනයේ ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

 

Image Courtesy: https://bit.ly/3QmcGiW

References: https://bit.ly/3mGnbQN

 

 
Tagged : /