මානව ගමන් මග වෙනස් කළ අපූරු චාරිකාව-1

Share

මානව ශිෂ්ඨාචාරය වෙනස් කළ දේශ ගවේෂකයන් නම් කරන්න යැයි ඔබට පැවසුවහොත් ඔබ නිතැනින් මතකයට එනු ඇත්තේ ක්‍රිස්ටෝපර් කොලොම්බස් , බර්තලමියු ඩයස්, වස්කෝ ද ගාමා වැන්නවුන් ය. නමුත් ඔවුන් විසින් සිදු කළ කාර්යභාරයට නොදෙවෙනි , ඔවුන්ට මානව සමාජයේ හිමි තැන ම හා සමතැන් ගන්නා කවුරුත් එතරම් නොහදුනන දේෂාඨකයෙකු සිටින බව ඔබ නොදන්නවා ඇති. මේ පුද්ගලයා මතු වන්නේ ආසියාකරයෙනි. මොහු සිදු කළ කාර්‍යභාරය නොවන්නට මානව සමාජය අද පවතින මේ තත්වයට පැමිණීමට තවත් කල් යාමට තිබූ අතර එකිනෙකාට ඉතා දුරස්ව තිබූ ශිෂ්ඨාචාර දෙකක්, සංකල්පමය ලෝක දෙකක් එක් වීමට තවත් වසර ගණනාවක් ගත් වීමට ඉඩ තිබිණි. එපමණක් නොව මේ පුද්ගලයාගේ මේ නිර්භීත චාරිකාව නොවන්නට ලෝක ඉතිහාසය මීට වඩා වෙනස් වන්නට තිබිණි. මෙලෙස වර්ණනාවට භාජනය වන පුද්ගලයා නම් පෙර අපර දෙදිග යා කළ ගොඩබිම් සේද මාවතේ නිර්මාතෘ දේශ ගවේෂක ශන්ග් චියෑන් (Zhang Qian) වේ.

ශන්ග් චියෑන් පිලිබද වූ සිතුවමක්

වර්තමාන චීනයේ ශාන්ක්සි ප්‍රාන්තයේ (Shaanxi province) චෙන්ග්ගු ප්‍රාදේශීය ඒකකයේ (Chenggu county)  හැන්සොන්ග් (Hanzhong) නගරයේ ක්‍රිස්තු පූර්‍ව 164 (164BC) පමණ උපත ලබන ශන්ග් චියෑන් දේශ ගවේෂකයෙකු ලෙස හැදින්වෙනවාට වඩා රාජ තාන්ත්‍රිකයෙකු ලෙස හැදින්වීම නිවැරදි වන අතර මොහුගේ වීර චාරිකාව එලෙස පවසනවාට වඩා විලම්භීතයෙකුගේ ගමනක් ලෙස සැලකීම වරදක් නොවේ. මන්දයත් මොහුගේ ගමන සිදු වන්නේ ‘මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑ ය.’ යන අවස්ථාවට සමාන තත්වයක් වීමය.මොහුගේ මේ ගමනට පසුබිම් වන්නේ රාජධානීන් දෙකක පැවැත්ම උදෙසා ඇතිවූ තරගයකි (වඩාත් නිවැරදිව ගැටුමක්).

ශියොන්ග්නු හා හන් රාජධානීන්හි පැතිරීම

මෙම ගැටුම ඇති වෙන්නේ එකල ලෝකයේ විශාලම අධිරාජ්‍යය වන ශොන්ග්නු සන්ධානය / සංයුක්ත රාජ්‍යය (Xiongnu Confederation )  හා එකල චීනය පාලනය කල හන් රාජධානිය (Han Dynesty) සමඟ යි. දකුණු සයිබීරියාව, මොන්ගෝලියාව කේන්ද්‍ර ,උතුරු මැන්චූරියාව කේන්ද්‍ර කරගත් ශොන්ග්නු සංයුක්තය , මහා ඇලෙක්සැන්ඩර් නිර්‍මානය කල අධිරාජ්‍යයට වඩා දෙගුණයක තරමේ විශාල රාජධානියක් වූ අතර එය සංචාරක දිවියක් ගත කල එඬේර සමාජයක්, ගෝත්‍රික සමාජ ක්‍රමයක් ඔස්සේ පාලනය වූ අතර එයට දකුණින් පිහිටි හන් රාජධානිය චීනයේ අභ්‍යන්තර තැනිතලාව ආශ්‍රිත භූමිය පාලනය කරමින් කෘෂිකාර්මික අර්ථ ක්‍රමයක් ඔස්සේ සමාජය හැඩ ගස්වා ගෙන තිබිණි.

වූ අධිරාජයා

මෙලෙස එකිනෙකට වෙනස් අර්ථ ක්‍රම දෙකක් ඔස්සේ ගොඩ නැගුණු රාජධානි දෙකකට එකම බිමක එකිනෙකාට යාබද ව පැවතීම ඉතා අපහසු කාරණයක් (එක කන්දක ව්‍යාඝ්‍රයන් දෙදෙනෙකු සිටිය නොහැක- චීන කියමනකි ) වූ අතර ම ශියොන්ග්නු රාජධානිය දකුණින් පිහිටි සාරවත් චීන අභ්‍යන්තර තැනිතලාව දෙස ගිජු බැලුම් නිරතුරුව එල්ල කල හෙයින් හන් රාජධානියට වාර්ෂික ව මුදල්,සේද රෙදි පිළි හා පිඟන් භාණ්ඩ ආදී නිෂ්පාදන අමුද්‍රව්‍ය මෙන් ම වංශවත් හා රාජකීය පවුල් වල තරුණියන් කප්පම් ලෙස යැවීමට සිදු වූ අතර මෙම ප්‍රතිපත්තිය හ’චින් (He Qin)ලෙස හැදින්වි ය.මෙය කොන්ෆියුසියස් වාදය ඔස්සේ ගොඩ නැගුණු හන් ජනතාවට දරා ගත නොහැකි නිග්‍රහයක් වූ අතර මේ මහා බලවත් සතුරා ඉක්මනින් පරාජය කිරීමේ දැඩි අභිලාසයකින් පසු විය.විශේෂයෙන් ක්‍රිස්තු පූර්ව 156 දී බලයට පත් වන ලියූ චෙ (Liu Che) හෙවත් වූ අධිරාජයා (හන් වු ඩි (Han Wu Di)ලෙස පසු කාලීනව හදුන්වයි) මේ පිළිබද දැඩි ස්ථාවරයක සිටි අතර මේ උදෙසා කල හැකි සෑම දෙයම කිරීමට උත්සාහ ගත්තේ ය.ඒ වෙනුවෙන් සේනා සංවිධානය මෙන්ම මෙම බලවත් සතුරාට එරෙහිව සටන් කිරීම සදහා ප්‍රබල මිත්‍රත්ව සම්බන්ධතාවක් සෙවීමට උත්සාහ ගත්තේ ය.

ගමනේ ඇරඹුම
ශන්ග් චියෑන් තම ගමන අවසන් කර පැමිනීම

මේ කාලය වන විට දෙපාර්ශවය අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් ශියොන්ග්නු සිරකරුවන්ගෙන් හන් සිර මැදිරි පිරී තිබු අතර මින් එක් සිරකරුවෙකු තම ගෝත්‍රයේ රජු මරා දැමීම හා ශියොන්ග්නු සංයුක්තයේ නායකයා වන චන්යු (Chanyu) විසින් වයින් පානය සඳහා ඔහුගේ හිස්කබල යොදා ගැනීම හේතුවෙන් ශියොන්ග්නු හා දැඩිව වෛරයෙන් පසු වන යුවෙට්’සි (Yuezhi) නම් ගෝත්‍රයක් (කුෂාණ ගෝත්‍රය(Kushan) මොවුන්ගෙන් සම්භව වන්නේ යැයි පවසයි ) හා ඔවුන් ශියොන්ග්නු ග්‍රහණයෙන් මිදී පලිගැනීමේ චේතනාවෙන් සිටින බව තොරතුරු පැවසූ අතර මේ ඇසු අධිරාජයා මෙම ගෝත්‍රය සොයා දූත පිරිසක් යැවීමට තීරණය කරන ලදී.

මේ සඳහා මෙම දූත ගමනේ ප්‍රධානත්වය දැරීමට අධිරාජයා පුද්ගලයෙකු රාජ සභාවේ සෙවූ අතර එයින් ඉදිරියට පැමිණෙන්නේ හැන්සොන්ග් සිට කිලෝමීටර 290 උතුරින් පිහිටි එකල චීනයේ අගනගරය වූ චන්’ගන් (වර්තමාන ක්සෑන්) පැමිණ ක්‍රිස්තු පූර්‍ව 139 දී පමණ රාජ්‍ය නිලධාරියෙකු ලෙස සේවයට පැමිණෙන ශන්ග් චියෑන් ය. ඒ අනුව තම අධිකාරි බලය නිරූපණය කරන ඡත්‍රයක් /යෂ්ටියක් (Staff) ශැන්ග් ක්සියෑන්ට ලබා දෙන අධිරාජයා , තවත් දූතයන් 100 ක් හා ශියොන්ග්නු වහලෙකු වන ගැන්ෆු (Gan Fu) සමගින් ශන්ග් චියෑන් ව අගනරයෙන් චාරිකාව සඳහා ක්‍රිස්තු පූර්‍ව 138 දී පිටත් කරනු ලබයි.

ඉබෙක්ස්

හන් රාජධානියේ සීමා පසු කළ ඔහු හා ඔහුගේ කණ්ඩායම පළමු ව පැමිණෙන්නේ ශීත කාන්තාරයක් වන ගෝබි කාන්තාරයට යි. ශුෂ්ක පරිසරයක් වුව ද හිම දිවියා (snow leopard), ගෝබි වලසා (Gobi bear), මධ්‍යම ආසියානු පොළඟා(Central Asian Viper) වැනි අනතුරුදායක සතුන් මෙහි වාසය කරන අතර ම ඉබෙක්ස්(Ibex), ගැසල්(Gazelle), බැක්ට්‍රීය ඔටුවා (Bactrian Camel) හා වල් අශ්වයන්ට ද නිවහන් සැපයීම සිදු වේ. දුනුවායෙකු මෙන් ම කාන්තාරය ගැන හොඳින් ම දන්නා ගැන් ෆුගේ මඟ පෙන්වීම යටතේ ගමන් කළ පිරිස යම් යම් අවස්තාවල ආහාර හිඟ වූ තැන ඔහුගේ උදව්වෙන් ආහාර සපයා ගැනීම සිදු විය. එනමුත් ශන්ග් චියෑන් හා ඔහුගේ කණ්ඩායමේ වාසනාව එතරම් කල් නොපැවතුණි.

ශියොන්ග්නු සිරකරුවෙකු වීම

ශියොන්ග්නු අසරුවන්

ශියොන්ග්නු සංයුක්තය එඬේර, සංචාරක සමාජ ක්‍රමයක් තුල නිර්මාණය වී තිබීම හේතුවෙන් එම ගෝත්‍ර සඳහා නිශ්චිත වාසස්ථානයක් නොපැවතිණි. එම නිසා ගෝත්‍ර අසරු කණ්ඩායම් ස්ටෙප්ස් තැනිතලාවේ, ගෝබි කාන්තාරයේ, මැන්චූරියා තණබිම්හි තැනින් තැන සංචාරය කිරීම ලක්ෂණයක් විය. ඔවුන් පැමිනෙණ දිශාවවත් පැමිනෙණ වේලාවවත් ගමන් කරන දිශාවවත් කල් තබා අනුමානය කිරීම අපහසු කරුණක් විය. එම නිසා එවන් අසරු කණ්ඩායම් කාන්තාරයේ ගමන් ගන්නන්ට මහත් තර්ජනයක් ගෙන දුන්නේ ය. එවන් වූ අසරු කණ්ඩායමකට ශන්ග් චියෑන් අසු වූ අතර ඔහු හා ගැන්ෆු එකල ශියොන්ග්නු සංයුක්තයේ එකල චන්යු වූ ජුන්චෙන් චන්යූ (Junchen Chanyu) වෙත සිරකරුවෙකු ලෙස ශියොන්ග්නු අසරුවන් රැගෙන ආවේ ය.

ඔවුන්ගේ දූත ගමන ගැන දැනුවත් වූ චන්යු ශන්ග් චියෑන්ගෙන් මා ඔබගේ අධිරාජයා කල සේම ඩායුඑවේ(Dayue) (හන් රාජධානියට දකුණින් පිහිටි කුඩා ප්‍රදේශීය රාජධානියක්) ගෝත්‍ර වෙත සන්ධානයක් නිර්‍මාණය කිරීමට දූත පිරිසක් යැවුවහොත් ඔබේ අධිරාජයා කුමක් සිතාවිදැයි ඇසූ අතර ඔහුව ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රඳවා ගැනීමට චන්යු තීරණය කළේ ය.ඒ අනුව ශන්ග් චියෑන් වසර 10 කාලයක් පුරා ශියොන්ග්නු ග්‍රහණයේ සිරකරුවෙකු බවට පත් විය.

ශියොන්ග්නු ගෝත්‍රිකයන් තමන්ගේ යටත් වන ඔවුන්ට වැදගත් යැයි සිතන සිරකරුවන් ඔවුන්ගේ පසුබිම නොසලකා තම ගෝත්‍රය තුල රදවා ගැනීමේ සිරිතක් පැවතුනු අතර ඒ සඳහා ඔවුන් තම ගෝත්‍රයේ කාන්තාවන් බිරින්දෑවරු ලෙස සිරකරුවන්ට පාවා දෙමින් ඔවුන් තම ඇස් මායිමේ රදවා ගැනීම සිදු විය. එලෙස ශන්ග් චියෑන්ට ද බිරිඳක් ශියුන්ග්නු ගෝත්‍රිකයන් ලබා දුන් අතර ඔවුන් අතර සිටි කාලයේ දි එම බිරිඳට දාව දරුවෙකු ද ඔහුට ලැබිණි.

ඒ කෙසේ වෙතත් තම මෙහෙයුම අමතක නොකළ හෙතෙමේ නිරතුරුව පලා යාමේ අවකාශයක් ගැන සෙවිල්ලේ සිටි අතර ම මෙම ශිෂ්ඨාචාරය හා එහි සංස්කෘතිය පිළිබඳ මැනවින් හදාරන්නට විය. මෙලෙස කාලය ගත වෙද්දී ශියොන්ග්නු ජාතීන් ශන්ග් කියෑන් පිළිබඳ අවධානය යෙදීම අඩු කළ අතර ඒ අවසරය ඔස්සේ වරෙක ඔහු විසින් තම දේශයේ සිට වාර්ෂික ව කප්පම් (tribute) ලෙස පැමිණෙන සේද රෙදි, පිඟන් භාණ්ඩ වැනි නිෂ්පාදන වලට සිදු වන්නේ කුමක් දැයි සොයා ගන්නා ලදී. මන්දයත් කෙතරම් වටිනා ද්‍රව්‍ය හන් රජධානියේ සිට පැමිණෙන මුත් ඒවා ශියොන්ග්නු ජාතීන් අතර වැඩි භාවිතයක් නොමැති වීමයි. ඒ අනුව එකී භාණ්ඩ බටහිර ප්‍රදේශන්ට ගෙන යන බවත් ඒවා ලෝහ වැනි අමුද්‍රව්‍යයන්ට හුවමාරු කරගන්නා බව ඔහු වටහා ගත් අතර ඒ අනුව බටහිර කොහි හෝ ස්ථානයක තම දේශයේ භාණ්ඩ සඳහා ඉහළ වෙළද පොළක් ඇති බව ඔහු වටහා ගත්තේ ය.

මූලාශ්‍ර

  1. Zhang Qian. Zhang Qian, Travelers and Pioneer of the Silk Road. (n.d.). https://www.travelchinaguide.com/silk-road/history/zhangqian.html
  2. Savannah Billman , & Billman, S. (n.d.). Founder of the Silk Road? Zhang Qian’s exploration to the West. The World of Chinese. https://www.theworldofchinese.com/2021/08/rediscovering-zhang-qian/
  3. Biography of Zhang Qian (164-114 BC). Chinadaily.com.cn. (n.d.). http://epaper.chinadaily.com.cn/a/202105/22/WS60a84d6ba31099a2343564a7.html
  4. YouTube. (2020). YouTube. Retrieved September 24, 2023, from https://www.youtube.com/watch?v=Y5KwhAqJSOw&list=PLTWtVUzAvZ3r_NUCKDxGRsP6yraV35g6b.
  5. YouTube. (2019). YouTube. Retrieved September 24, 2023, from https://www.youtube.com/watch?v=Fe5GisuuMdk.
  6. From the Parapet, From the Parapet, & 18, H. on J. (2022, November 21). The Xiongnu. From the Parapet. https://fromtheparapet.wordpress.com/2019/07/18/the-xiongnu/

Image Courtesy :

  1. Featured Image : https://binged.it/3RsKy0a (AI Generated Images)
  2. Content Image 1 : https://bit.ly/418yNPM
  3. Content Image 2 : https://bit.ly/3uR6BVs
  4. Content Image 3 : https://bit.ly/483BV1O
  5. Content Image 4 : https://binged.it/46Lbj4o  (AI Generated Images)
  6. Content Image 5 : https://bit.ly/3RahwRL
  7. Content Image 6 : https://bit.ly/46N2cAl
  8. Content Image 7 : https://bit.ly/3GuQjV6
  9. Content Image 8 : https://bit.ly/3t4vM6A
 
Tagged : / / / / /