දිනෙන් දින,
පැයෙන් පැය
බලා උන්නෙමි මම
නුඹ වෙනුවෙන්..
උදෑසන සුමුදු හිරු එළි අතර
සෙවූවත් හතිලමින් නුඹ ව
දනිමි හමු නොවන බව
සිනාසෙන නැවුම් ලොවක දී..
ඉතින් ඉවසා උන්නෙමි මම
නුඹේ රුව සිතේ දරාගෙන..
එළැඹි මුත් සීත නිශා යාමය
කිම් ද තවත් නො ආයේ නුඹ..
නිදි නැති රැය පුරා
රළ නගයි හද නුඹ දකිනු රිසියෙන්,
යළි කෙදිනක හමුවනුදැ’යි
නොදන්නා හෙයින්..
දිලුණත් තාරුකා දස දහස් ගණනින්
අවැසි නුඹේ රුව පමණි මට
තුරුලු කර ගත් හීන පොදිය
නුඹ වෙත පවරන්නම් එවිට..
මන්ද,
නුඹට පමණි හැකි
පණ දෙන්න ඒ මලානික හීනයට..
ඉතින් මා රැඳෙන්නම් එන තෙක් නුඹ..
ඉවසා ගත වෙහෙස
දරා හිම සීත..
හිඳින්නම් මා..
අවැසි නුඹ දැකුමට..
ඇත පවසන්නට බෝ දෑ..
අමාවක අහසට
සොඳුරු කවියක් ව,
ආලෝක පුංජයක් ව
මුතු ඇල්වූ තිමිර සළුවට,
ඉතින් පැමිණෙන්න මා නෙතු හමුවට..
පැමිණෙන්න මොහොතකට හෝ
නුඹේ ලොවින් මිදී,
මගේ ලොව වෙත..
එතෙක්
බලා ඉන්නෙමි මම..
නුඹ වෙනුවෙන්ම
ආදරණීය ජෙමිනිඩ්
Image courtesy : https://bit.ly/3nfFjQ5