නර්තනාවී වෙත ලියූ චම්පු කාව්‍යයක්…

Share

හැම ලයිට් කපන පැය දෙකාහමාරක ම මට කවි සිතිවිලි පහළ වෙනවා. හවස් යාමයේ ඉර බැස යන, සඳ නැඟ එන නියෝන් එළිය හාත්පස පැතිරෙන වෙලාවක මට කවියකට නිමිති වෙන වචන එක දෙක ගලාගෙන එනවා.

මම ගූගල් ඩොකසුව විවර කර අකුරු එකිනෙක ගලපනවා. වචන මුදු ව ගලා යන්නට හරිනවා.

එතකොට මට මතක් වෙනවා. “ඈ…සීතල දියර ඉරක් සේ… ගලා බසී… හද තෙමා බසී….” මතක විදිහට සිරි ගුණසිංහයන් ලියපු කවිය.

මේ කවිය, මම ලියන හැම වෙලාවක ම වගේ මතකයට එනවා. ඒත් සමඟ ම මතකයට එන තව දෙයක් තියෙනවා.

මම ඇඳේ දිගාවෙලා යතුරු ලියනය කරනවා. ඇඳ විට්ටමට එපිටින් ජනේලය ආවරණය කරපු කර්ටනය පේනවා. කර්ටනය, බැස යන හිරු ‘වර්ණ සමබර’ කරලා දෙන නියෝන් එළිය අමුතු අඳුරකින් පෙරා කාමරයට එවනවා. ළා දුඹුරු කර්ටනයත් ඇඳ විට්ටමත් අතර හිදැස එතන රටා මවනවා. මම අවුරුදු ගාණක් ආපස්සට යනවා.

වේදිකාවේ අඳුර මකන්න තැන් තැන්වලින් මුදාහරින නියෝන් පැහැය මුහු කරපු විදුලි එළි අතරින් සිහින් අතක් ලෙළෙනවා. ඒ හීන් අතේ ඇඟිලි තුඩු විවිධාකාරයෙන් රටා මවනවා. ඝන කාබන්ඩයොක්සයිඩ් දුම කළඹමින් නැටුම් කණ්ඩායමේ හොඳ ම හැඩතලය ඈ නිමවනවා. ඒ වේදිකාවේ සලරුව මගේ ළා දුඹුරු කර්ටනය මතට ප්‍රක්ෂේපණය වෙනවා. කාලරේඛාව මාව තවත් ඈතට අරන් යනවා.

අඳුරු පන්ති කාමරයක්. මම තාලම්පට සලමින් ගොයම් කවියක් කියනවා. පන්ති කාමරයේ දැල අතරින් බෙදී එන මළානික ඉර එළිය ඈ සිහින් දෑත් මත… මා පද වරද්දනවා… තාලය පටලගන්නවා… ගායන සහය පිරිස මාව නිවැරදි කළත්… මට තාලය සොයා ගන්න අමතක වෙනවා…

මේ අඳුර… ඒ තමයි මේ අඳුර… මා ආල වඩන නියෝන් අඳුර …

 

“අඳුරු මුල්ලක හිඳ

කුමක් කරනු ද වෙන

ලුමිනස් රටා මවන

නුඹ ව සිත්තම් කරමි මම

කාන්සිය පැතිරිණ

එක ම ජීවය නුඹ විණ

කැන්වසය දිලිසිණ

නුඹේ සිත්තම තවත් විසිරිණ

සත්සරය විය මම

ඔබ වැණූ වන්නම පෙර දින

තාලයෙන් මුස කළ

හද වෙණ තව ම වෙයි  කම්පන…”

Written By: Kalindu  Habarakadarachchi

Image Courtesy: https://bit.ly/3On0flS

 
Tagged : / /