පිටස්තර ග්‍රහලෝක වර්ගීකරණය කරන්නේ කෙසේද?- 4

Share

පිටස්තර ග්‍රහලෝක වැඩි වශයෙන් සොයා ගැනීමත් සමග ඒවා වර්ගීකරණයට තාරකා විද්‍යාඥයන් පෙලඹුණු අතර එසේ වර්ගීකරණයේදි ග්‍රහලෝකයක් යන්න කුමක්ද, යන්නට අර්ථ දැක්වීමක් ඔවුන් සොයන්නට විය. 2006 දී අප සෞරග්‍රහ මණ්ඩලය උදෙසා ග්‍රහලොවක් යන්නට අර්ථ දැක්වීමක් පැමිණි මුත් විශ්වයේ අනිකුත් ස්ථාන වලින් හමු වන පිටස්තර ග්‍රහලෝක වල හැසිරීම් හා ගුණ අනුව එය සර්ව සාධාරණව යොදා ගත නොහැකි බව පැහැදිලි විය.ඒ අනුව 2017 දී ග්‍රහලෝක පිළිබඳ නව අර්ථ දැක්වීමක් අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය (IAU) වෙත ඉදිරිපත් කරන ලදී. එම අර්ථ දැක්වීමට අනුව ග්‍රහලොවක් යනු “කක්ෂගත පරාමිතින් නොසැලකූ කල්හි (regardless of orbital parameters) න්‍යෂ්ටික විලයන ක්‍රියාවක් කිසි විටක සිදු නොකරන ත්‍රි අක්ෂ ඉලිප්සාභයන් (ellipsoid) හරහා පැහැදිලි කළ හැකි ගෝලීය ස්වභාවයක් පවත්වා ගත හැකි මට්ටමේ ප්‍රමාණවත් ගුරුත්වයක් සහිත උප තාරීය වස්තුවකි.”

මෙම අර්ථ දැක්වීම අනුව හඳුනා ගන්නා ග්‍රහලෝක ප්‍රමාණාත්මක වර්ගීකරණයකට ලක් කිරීම විද්වතුන් සතුව තිබූ ඊළඟ අභියෝගය විය. ඒ සදහා නිශ්චිත පරාමිතියක් සෙවීම මෙහි ප්‍රධාන බාධකය විය. මන්දයත්, පිටස්තර ග්‍රහලෝක සෙවීමේ ක්‍රමවේදයන් එකිනෙකක් හරහා ලැබෙන්නේ පිටස්තර ග්‍රහලෝකයන්හි එකිනෙකට වෙනස් පරාමිතීන් වීමය. එනමුත් සෑම පිටස්තර ග්‍රහලොවකම ස්කන්ධය සෘජුව හෝ වක්‍රව ලබා ගත හැකි හෙයින් ස්කන්ධය අනුව පිටස්තර ග්‍රහලෝක විද්‍යාත්මක වර්ගීකරණයන් සිදු විය. එලෙස සිදු කරනු ලැබූ වර්ගීකරණයන් කීපයකි.

1. මෙට්‍රික් වර්ගීකරණය (Metric Classification)
2. මෙගර් පරිමාණ – ස්කන්ධ ග්‍රහලෝක වර්ගීකරණය (Meghar scale- Planetary  mass classification)
3. ස්ටෙර්න් සහ ලෙවිසන් වර්ගීකරණය (Stern and Levison classification)
4. Planetary Habitability Laboratory මගින් ඉදිරිපත් කරන ලද වර්ගීකරණය

මෙට්‍රික් වර්ගීකරණය(Metric Classification)

මෙහිදී ග්‍රහලෝක කාණ්ඩයේ පාදක ග්‍රහලොව ලෙස පෘථිවිය සලකනු ලබන අතර, එහි ස්කන්ධයට පෘථිවියේ ස්කන්ධය දරන අනුපාතය අනුව මෙම ග්‍රහලෝක වර්ගීකරණය කර තිබේ.

වර්ගය විශාලත්වය ස්කන්ධය උදාහරණ     (සෞරග්‍රහ මණ්ඩලය)
 මිලි ග්‍රහලෝක     (milli-planets) 0.001 1.90 x 10^24 kg ප්ලූටෝ,සෙරස්
 සෙන්ටි ග්‍රහලෝක   (Centi-planets) 0.01 1.90 x 10^25 kg බුධ
 ඩෙසි ග්‍රහලෝක         (Deci-planets) 0.1 1.90 x 10^26 kg අඟහරු
 ග්‍රහලෝක 1 1.90 x 10^27 kg පෘථිවිය,සිකුරු
 ඩෙකා ග්‍රහලෝක   (Deca-planets) 10 1.90 x 10^28 kg නෙප්චූන්
 හෙක්ටො ග්‍රහලෝක   (Hecto-planets) 100 1.90 x 10^29 kg බ්‍රහස්පති,සෙනසුරු
 කිලෝ ග්‍රහලෝක   (kilo-planets) 1000 1.90 x 10^30 kg

මෙම වර්ගීකරණයේ විශේෂත්වය වන්නේ මෙම එක් කාණ්ඩයක් ව්‍යාප්ත වන්නේ ඉහළ ප්‍රාන්තරයේ මධ්‍ය අගයත් එම ප්‍රාන්තරයේ මධ්‍ය අගයත් අතර වීමයි. එනම් ග්‍රහලෝක කාණ්ඩයේ විශාලත්වය 0.5 ත් 1.5 ත් අතර වේ. මෙම ව්‍යාප්තිය මිලි සිට නැනෝ දක්වා ද ව්‍යාප්ත වන මුත් එය ඉහත වගුවේ දක්වා නොමැත. එලෙසම කිලෝ ගණයේ ග්‍රහලෝක ලෙස එප්සිලන් ඇන්ඩ්‍රොමීඩා d ගත හැකි අතර කිලෝ 4.131 ඉක්මවූ පසු එම වස්තූන් ග්‍රහලෝක නොවන අතර දුඹුරු වාමන ගණයට අයත් වේ.

මෙගර් පරිමාණ-ස්කන්ධ ග්‍රහලෝක වර්ගීකරණය (Meghar scale- Planetary  mass classification)

මෙම වර්ගීකරණයේ සිදු කරන්නේ එක් එක් ග්‍රහලෝකයන්හි ස්කන්ධය පෘථිවියේ ස්කන්ධයට දරන අනුපාතයට අනුව වර්ග කිරීමය. ඒ අනුව මෙහිදී පාදක ඒකකය ලෙස පෘථිවියේ ස්කන්ධය සැලකේ.ඒ අනුව,

වර්ගය ස්කන්ධ පරාසය   (පෘථිවි ස්කන්ධ )
දුඹුරු වාමනයන් 5000-50000
සුපිරි යෝධයන් 500-5000
බ්‍රහස්පති (යෝධයන්) 50-500
නෙප්චූන්              (වායු යෝධයන්) 5-50
පෘථිවිය(පෘථිවි ආකාර) 0.5-5
අඟහරු අඟහරු ආකාර) 0.05-0.5
චන්ද්‍රාකාර 0.005-0.05
ප්ලුටෝන 0.0005-0.005
ග්‍රාහක ග්‍රහලෝක 0.00005-0.0005
එන්සෙලඩෙස්-අයිස් චන්ද්‍රයන් 0.000005-0.00005

මෙම වර්ගීකරණය ජනප්‍රියතාවය මත සංස්කරණය වූ අතර එන්සලඩස් කාණ්ඩය එලෙස ඇතුලත් වී ඇත. සමහර ස්ථානයන්හි ග්‍රාහක ග්‍රහලෝක හා අයිස් චන්ද්‍රයන් යන කාණ්ඩ මෙම වර්ගීකරණයට ඇතුලත් නොකර සඳහන් කර ඇත. එලෙසම දුඹුරු වාමනයන් යනු ග්‍රහලෝක හා තාරකා අතර සංක්‍රාන්ති පුරුක වන අතර මෙම වස්තු න්‍යෂ්ඨික විලයනය සිදු කරනු ලබයි.එම නිසා ග්‍රහලෝක නිර්වචනය අනුව මෙම වස්තු ග්‍රහලෝක ලෙස ගත නොහැකි මුත් සංක්‍රාන්ති අවස්ථාව යන කරුණ පදනම් කර ගනිමින් මෙම වර්ගීකරණයට ඇතුළත් කර ඇත.

ස්ටෙර්න් සහ ලෙවිසන් වර්ගීකරණය (Stern and Levi son classification)

මෙය, පෙර කී වර්ගීකරණයන්ට වඩා තරමක් සරල වර්ගීකරණයක් වන අතර, මෙහිදී ඒ ඒ ග්‍රහලොවේ පෘථිවියට සාපේක්ෂ ස්කන්ධය ග්‍රහලොව තැනී ඇති ආකාරය එනම් පාෂාණමය, අයිස්මය හා හයිඩ්‍රජනමය යන ආකාර අනුව වර්ගීකරණය සිදුවේ. එලෙස වර්ගීකරණය කරන ලද සෞරග්‍රහ මණ්ඩලය පහත වේ.

සංයුතිය උපවාමන (≤පෘථිවි ස්කන්ධ 0.03) වාමන(≤පෘථිවි ස්කන්ධ 1) උපයෝධ(≤පෘථිවි ස්කන්ධ 10^2) යෝධ(≤පෘථිවි ස්කන්ධ 10^3) සුපිරි යෝධ (≤පෘථිවි ස්කන්ධ 10 ^4.5)
පාෂාණමය විශාල ග්‍රාහක,ප්ලූටෝ පෘථිවිය ,බුධ,අගහරු
අයිස්
හයිඩ්‍රජනමය යුරේනස්, නෙප්චූන්, සෙනසුරු බ්‍රහස්පති

Planetary Habitability Laboratory මගින් ඉදිරිපත් කරන ලද වර්ගීකරණය

ඉහත වර්ගීකරණයන් සියල්ල ලෙසම ස්කන්ධය පදනම් කර ගනිමින් ආයතනය විසින්ද පිටස්තර ග්‍රහලෝක වර්ගීකරණයක් ඉදිරිපත් කරන ලද අතර එයට අනුව පිටස්තර ග්‍රහලෝක වර්ග සතකි.
1. ග්‍රාහකමය (Astrodian)
2.  බුධමය (Mercurian)
3. උප පෘථිවිමය (Sub-terran)
4. පෘථිවිමය (terran)
5. සුපිරි පෘථිවිමය (super-terran)
6. නෙප්චූන්මය (Neptunian)
7. බ්‍රහස්පතීන්මය (Jovian)

මෙම එක් එක් ග්‍රහලෝක කාණ්ඩයන්හි ස්කන්ධ ව්‍යාප්තිය පහත පරිදි වේ.

මෙම ග්‍රහලෝක කාණ්ඩයන්හි ; ලාක්ෂණික පහත පරිදි වේ.

ග්‍රහලෝක වර්ගය ස්කන්ධය      (පෘථිවි ස්කන්ධ=1 ) අරය    (පෘථිවිඅරය=1) වායුගෝලය පවත්වා ගැනීමේ හැකියාව
ග්‍රාහකමය 0-0.00001 0-0.03 ද්‍රවස්ථිතික සමතුලිතතාව රඳවා ගැනීමට නොහැකි අසමමිතික වස්තූන් වන අතර ස්ථාවර වායුගෝලයක් රඳවා ගැනීමට නොහැක.
බුධමය 0.00001-0.1 0.03-0.7 හිම රේඛාව (snow line) පසු කරනු ලැබූ ශීත කලාපයට (cold zone) අයත් ග්‍රහලෝක වලට වායුගෝලයක් රඳවා ගත හැක.
උප පෘථිවිමය 0.1-0.5 0.5-1.2 ජීවයට හිතකර කලාපයෙහි (Habitable zone) පිටත කෙලවර පිහිටි ග්‍රහලෝක වලට වායුගෝලයක් රඳවා ගත හැක.
පෘථිවිමය 0.5-2 0.8-1.9 ජීවයට හිතකර කලාපය තුල ද්‍රව ජලය සහිතව වායුගෝලයක් රඳවා ගැනීමේ හැකියාව ඇත.
සුපිරි පෘථිවිමය 2-10 1.3-3.3 ජීවයට හිතකර කලාපයේ ද්‍රව ජලය සමග ඝන වායුගෝලයක් පවත්වා ගත හැක.
නෙප්චූනමය 10-50 2.1-5.7 උෂ්ණ කලාපයේදි (Hot zone) ඝන වායුගෝලයක් රඳවා ගැනීමේ හැකියාව ඇත
බ්‍රහස්පතීනමය 50-5000 3.5-27 උෂ්ණ කලාපයේදි අධි ඝන වායුගෝලයක් රඳවා ගැනීමේ හැකියාව ඇත.

මෙහිදී කලාප වශයෙන් සලකනු ලබන්නේ ඒ ඒ ග්‍රහලොවත්, මව් තාරකාවත් අතර පවතින දුර අනුව එය අයත් වන කලාපය වේ.

ස්කන්ධ අනුව පිටස්තර ග්‍රහලෝක වෙන් කළ පසු පවතින අනිකුත් විද්‍යාත්මක වර්ගීකරණයන් පිළිබඳව ඉදිරි ලිපියේදි පැහැදිලි කරනු ලැබේ.

මූලාශ්‍ර

1.https://bit.ly/2V4ei5o

2.https://bit.ly/2XkcRSO

3.https://bit.ly/3bOWnpU

4.https://bit.ly/39O3ttw

5.https://bit.ly/3bYAyED

6.https://bit.ly/2Rfeq0I

ඡායාරූ මූලාශ්‍ර

1.https://bit.ly/3aNpdXB

2.https://bit.ly/2UMF9nn

3.https://www.pinterest.com/pin/91268329922258727/

 
Tagged : / /