සෙනෙහසට අරුත් දී නුඹ ඇවිත් උන් එදා
තිත තබා කෙළිදෙළට මැණික ලෙස මා දරා
බිඳෙන් බිඳ පණ ලබන සිඟිති රූ සිත මවා
ඉඳිමි පා සවි ලබා නුඹ නමින් ඉසිලුවා
නිල් දෙනෙත දිදුලමින් මා දෙනෙත් දෙස බලා
සිනහ ගඟුලැල් මවා හදට ළං වී බෙදා
උතුරනා තුටු හදින් සෙනෙහෙ දෙතොලින් උරා
සරතැසක් නැත කිසිත් පැමිණියේ නුඹ නිසා
ගෙවෙන හැම මොහොතක ම මගේ ළඟට ම වෙලා
පවසනා වදන් හැම මා දිවිය සරි කළා
ගෙවී යන දිවි පෙතට සවිය වී නුඹ සදා
රජෙකි නුඹ මගෙ ලොවට නොකීවත් මම මෙදා
පැන ගිහින් විසි වසර අරුම ලෙස ගෙවීලා
කිරි සිනා මැකී නැත තව පෙනෙයි මැවීලා
නුඹ සඳකි තරු අතර පිබිදෙමින් හිනැහිලා
හීනයක් දෝ සිතේ තුටු කඳුළු තැවරිලා
ළයට ළං කර නිවා හැම වෙහෙස නුඹෙ ගතේ
තුරුලු කර ගන්න යළි සෙනෙහසින් මට සිතේ
මකා කඳුළැලි නැඟුණු ඒ නිසා මගෙ නෙතේ
අනල මම කවන්නද කටක් බත් මගෙ පුතේ
Written By Sahashra Dinasiri
Image credit : https://bit.ly/34qKGn9