රන්මව් සොඳුරු මහමායා කුමරි කරා
පින්කඳ මහරු දැක විත් නල දසත සරා
පුන් රිවි තඹරු විකසිත ලෙද දෙරණ අරා
පින්බර කුමරු පිපුණිය සත් පියුම් පුරා
සැප දුක කෙළවරෙහි ඇත්තේ දුකය නිතී
කප සිය දහස් කල් සසරෙහි ගිලෙනු ඇතී
අප බව සයුර තරණය කරවනට රුතී
සැප රජ දහන හැර සිදුහත් කුමරු යතී
ගගනට සඳ නැගුණු පුන් පෝ දින සොඳිනා
පවනට සිහිල’යුරු ලොව මෙත් ගඟ මැවුණා
හිමිහිට ඇසතු බෝ මුල හිමි වැඩ හිඳිනා
නුවණට එළිය පුද දී බුදු විණ එදිනා
උපවත්තන, මලින් බර සල්පත් සෙවණේ
දෙව් බඹු දන පැවිදි නෙත කඳුළැලි සැලුණේ
හිමි පිරිණිවන රැඳුණේ දොර දී නිවනේ
තුන් ලෝ පතළ මහ කරුණා සිල නිවුණේ
මහා කරුණා ගුණෙන් ලොව බලා මෙතිනී
දෙසූ අමයුරු දහම බුදු වුවන් මෙතිනී
පුදා සුවඳැති නෙළුම් වැඳ පහන් සිතිනී
වඳිමු මුනි ගුණ වෙසක් දින සිතින් බැතිනී
සසර රෝ බිය දුරලු මහා ඉසිවරාණෝ
බඹුන් දෙවියන් අතර උතුම් මනු රජාණෝ
දහම් බිඳු තැවරු ඒ සුගත මුනිවරාණෝ
වඳිමු වෙසඟේ නිතින් උතුම් බුදු පියාණෝ
Image courtesy : https://bit.ly/2ydIx2s