පසුගිය ලිපිය ඔස්සේ ශන්ග් චියැන් පිළිබඳවත් ඔහුගේ චාරිකාවේ ආරම්භය හා ඔහු සිරකරුවෙකු වීම පිළිබඳවත් වූ කතාන්දරය අනාවරණය කරන ලදී. මොහුගේ ගමන් පිළිබඳ සටහන් හමු වන්නේ එකල වූ අධිරාජයාගේ (යුධ අධිරාජයා- Martial Emperor) රාජ සභාවේ සේවය කල වාර්ෂික දින දර්ශනය සැකසීමේ ධූරය හිමි Grand Historian පදවිය දැරූ මහා ඉතිහාසඥ සිමා චියෑන්ගේ (Sima Qian) වාර්තාවන්හි යි. එම වාර්තා අනුව ශන්ග් චියෑන් වසර 10 ක ශියොන්ග්නු සිරකරුවෙකුගේ තත්වයෙන් සිටි අතර ඔවුන්ගේ අවධානය ලිහිල් වීමේ අවස්ථාව හොදින් ප්‍රයෝජනයට ගත් ඔහු හා ගැන් ෆු පලා යාම සැලසුම් කළ අතර අවස්තාව ලද සැනින් ඔවුන්ගෙන් පළා ගියේ ය. එසේ පළා යන අතරතුර ඔහුට යමක් අමතක කර ආ බැව් සිහි විය. නැවතත් පැමිණෙන හෙතෙමේ ඔහුගේ බිරිද හා දරුවා ? නැත. අධිරාජයා ඔහුට දුන් රාජකීය ඡත්‍රය රැගෙන නැවත පළා ගියේ ය. (මෙම පළා යාමට ඔහුගේ ශියොන්ග්නු බිරිද හා දරුවා ද එක්වූ බැව් සමහර තැන්හි වාර්තා වේ)
මෙවර වාසනාව ශන්ග් චියැන් වෙත රැඳී පැවතුන අතර ඔහු හා කණ්ඩායම ශියොන්ග්නු අවධානයෙන් මිදී පලමුව ගෝබි කාන්තාරය තරණය කළ අතර දෙවනුව තක්ලමකාන් (Taklamakan Desert) නැමැති තවත් ශීත කාන්තාරයක් (මෙය තරීම් ද්‍රෝණිය ආශ්‍රිතව පිහිටා ඇත) පසු කරන ලදී. ගෙවී ගිය කාලය තුල හෙතෙමේ ශියොන්ග්නු සංයුක්තය පිළිබඳව පමණක් නොව යුවෙට්’සි (යුඑචි ලෙසත් සමහරතැන් වල නම් වේ) ගෝත්‍රය පිළිබඳවත් සෙවූ අතර එහිදී ඔහුට මෙම ගෝත්‍රය ලැබූ පරාජයෙන් පසු ශියොන්ග්නු ආධිපත්‍යයෙන් මිදුණු ඈත බටහිරට සංක්‍රමණය වී ඇති බව ය.(මෙහි දී ඔහුට මෙම ගෝත්‍රය පළා යන විට කොටසක් ටිබෙට් කලාපය වෙත සංක්‍රමණය වී සුළු යුවෙට්’සි (Lesser Yuezhi) නම් ගෝත්‍රයක් නිර්මාණය කර ගත් බව සමහර විට මඟ හැරෙන්නට ඇත)

ශැන්ග් චියෑන් හා ග්‍රීක- බැක්ට්‍රිය පළමු හමුව
කෙසේ හෝ තරීම් ද්‍රෝණිය පසු කර කදු ශිඛර පසු කරමින් වර්තමාන ෆර්‍ගානා තැනිතලාව වෙත පැමිණෙන ශැන්ග් චියෑන් ඇතුළු කණ්ඩායමට එක්තරා විස්මිත දර්ශණයක් දක්නට ලැබේ. උස් තාප්ප වලින් සමන්විත ප්‍රාකාර, හුණු හෝ කිරිගරුඩෙන් නිර්මිත කුලුණු වලින් යුතු ගොඩනැගිලි වලින් යුතු නගරයක් ඔවුන් දුටු අතර එම නගරයේ ගැඹුරු ඇස් සහිත, ඝන හා දිගු රැවුල් වලින් සමන්විත ශ්වේත වර්ණයට ආසන්න පැහැයෙන් යුතු ඡවි වර්ණයෙන් හෙබි මිනිසුන් කණ්ඩායමක් දකින්නට ලැබුණි. ශැන්ග් චියෑන් මෙම නගරය ‘එර්‍චින්’ (Erqin) ලෙස හදුන්වන අතර මෙම පුද්ගලයන් වෙළෙදාමට අති දක්ෂ බැව් ඔහු වටහා ගනී. පසුව ඔහු මෙම ප්‍රදේශය ඩායුවාන් (Dayuan) හෙවත් ‘ මහා අයෝනිය (Great Ionian) ‘ ලෙස හදුන්වන බව දැනගන්නා ලදී.

මෙකී තොරතුරු අනුව ඉතිහාසඥයන් අදහස් කරන්නේ ශැන්ග් චියැන් ඇලෙක්සැන්ඩර් අධිරාජයා විසින් තැනූ මහා අධිරාජ්‍යයේ දූරස්ථම හා නැගෙනහිරින් පිහිටි ඇලෙක්සැන්ඩ්‍රියා එස්කටේ ,Alexandria Eschate (‘දූරස්ථ ඇලෙක්සැන්ඩ්‍රියාව’- Alexandria Furthest) වෙත පැමිණි බව ය. මෙම යුගය වන විට ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යය කුඩා කැබලි වලට වෙන් වී තිබූ අතර මුල් කාලීනව සෙලියුඩ් අධිරාජ්‍යය (Seleucid Empire) යටතේ පාලනය වූ මෙම කලාපය පසුකාලීනව ග්‍රීක -බැක්ට්‍රියාව (Greco-Bactria) ලෙස වයඹ දිග ඉන්දියානු කලාපය හා මධ්‍යම ආසියානු කොටස් එක් වූ වෙනම ස්වාධීන රාජධානියක් යටතේ පාලනය විය. නමුත් කාලයත් සමග කුඩා රාජධානි ලෙස මෙම ග්‍රීක-බැක්ට්‍රියා රාජධානිය වෙන්වීම සිදු වූ අතර අසල පැවති එඬේර සමාජ ක්‍රමය ඔස්සේ ගොඩ නැගුනු සක (Saka), වුසුන් (Wusun) වැනි ගෝත්‍රයන්ගේ (පසුව පැමිණෙන යුඑචි ) තර්ජනයන්ට මෙම රාජධානි නිරතුරුව මුහුණ දුනි.ශැන්ග් චියෑන් මෙම ප්‍රදේශයට පැමිණෙන්නේ මෙවන් තත්වයක වන අතර ඔහු හා ඔහුගේ කණ්ඩායම චීනය හා ග්‍රීසිය අතර ප්‍රථම නිල හමුවීම සටහන් කල අතර , ශැන්ග් චියෑන් බටහිර ජාතියක් මුණ ගැසුණු පළමු වන චීන ජාතිකයා ලෙස වාර්තා අතරට එක් වේ.

ශැන්ග් චියෑන් එම ප්‍රදේශය පාලනය කරන පාලකාධාරීන් මුණ ගැසෙන අතර ඔවුන්ට තමන්ගේ ගමනේ අරමුණ පැහැදිලි කරමින් හන් අධිරාජයාගේ මිත්‍ර හස්තය ඔවුන් වෙත දිගු කරන ලදී. තමන්ට ඉතා දුරින් පිහිටියා වුව ද ප්‍රබල, බලගතු,ධනවත් හා ශක්තිමත් හන් රාජධානිය හා මිත්‍ර සබඳතාවක් නිර්මාණය කර ගැනීමට දායුවාන් පාලකයන් කැමැත්ත දැක්වූ අතර ඒ නිසාමදෝ ශැන්ග් චියෑන්ගේ ගමනේ මූලික අරමුණ වූ යුඑට්’සි ගෝත්‍රය ජීවත් වන ප්‍රදේශය පිළිබඳ ඔවුන්ට දැනුවත් කිරීමට දායුවාන් පාලකයන් උනන්දු විය. ඒ අනුව ශියොන්ග්නු සංයුක්තය හා ගැටුමෙන් පරාජයට පත් වන යුඑට්’සි ගෝත්‍රය පලා යාමේදි විවිධාකාර ගැටළුවලට මුහුණ දෙමින් හා වුසුන්, සක වැනි ගෝත්‍ර හා ගැටුම් ඇති කරගනිමින් අවසානයේ වර්තමාන ටජිකිස්තානය හා ඇෆ්ගනිස්තානය අතර දේශසීමාවේ පවතින පාමීර් කඳු වැටිය ආශ්‍රිත තැනිතලාවේ හෙවත් ඩාක්ශියාහි / Daxia (බැක්ට්‍රියා- Bactria) ජනාවාසයක් නිර්මාණය කර ගෙන සිටින බව ශැන්ග් චියෑන් දැන ගති. එලෙසම ඔවුන් මුණ ගැසීම සඳහා පහසුකම් ලබා දීමට මෙම පාලකයන් එහිදි එකඟ විය. ඒ අනුව එම පාලකයන් වර්තමාන සොක්ඩියානාව (Sogdiana) හෙවත් කන්ජු (Kanju) හරහා ආරක්ෂිත මාවතක් විවර කර දෙමින් ශැන්ග් චියෑන්ට ඩාක්ශියා වෙත ළඟා වීමට උපකාර විය.
ශැන්ග් චියෑන් යුඑට්’සි ගෝත්‍රය හමුවීම
එලෙස මහත් පරිශ්‍රමයක් දරා තම ඉලක්කය වෙත පැමිණෙන ශැන්ග් චියෑන්ට මුහුණ දීමට සිදු වන්නේ අනපේක්ෂිත සිදුවීමකට ය. තම අරමුණ යුඑට්’සි ගෝත්‍රයට දැන්වුවත් ඔවුන් ශියොන්ග්නු සංයුක්තය හා තවත් ගැටුමකට උනන්දුවක් නොදැක්වූ අතර ( ඔවුන්ගේ පෙර නායකයාගේ හිස් කබල චන්යු වයින් පානය සඳහා ගන්නා බව දැන්වූව ද ) ඔවුන් වර්තමානයේ වාසය කරන ඔක්සස් (Oxus) නදිය හෙවත් අමු ඩේරියා (Amudarya) නදී තැනිතලාවේ ජීවිතයට ඇලුම් කළ අතර එයට අනුගත වී තිබිණි. එලෙස තම දුෂ්කර ගමනේ මූලිකාර්ථය සුනු විසුනු වී ගිය ද උත්සාහය අත් නොහරින ශැන්ග් චියැන් නැවත ඩායුවානයට යන අතර වසරක කාලයක් මෙම කලාපයේ ගත කරමින් මෙම කලාපයේ භූමිය, මිනිසුන්, ඔවුන්ගේ සංස්කෘතීන් පිළිබඳ මනා අධ්‍යයනයක නිරත විය.

එහිදී ඔහුට ඩායුවාන් ජනතාව එකල චීන ශිෂ්ඨාචාරය තුලින් මැකී ගිය මිදි මඟින් වයින් නිෂ්පාදනය කරන බවත් එම ජනතාව උසස් ගණයේ අසුන් ඇති කරන්නන් බවත් සොයා ගැනීමට මෙම කාලයේදි හැකි වූ අතර එම අසුන් ලෙහෙසියෙන් විඩාවට පත් නොවන ජවාධික සතුන් විශේෂයක් බව ඔහු හදුනා ගන්නා ලදී (ඔහුගේ වාර්තා අනුව මෙම අසුන් දහදිය වෙනුවට රුධිරය පිට කරන බව පැවසුවත් මෙය අසුන් මත සිටින පරපෝෂිතයන් දහඩිය හා ඉවත්වීම නිසා සිදු වුවක් බව විද්වතුන්ගේ අදහසයි). ඒ අනුව මෙම අසුන් ස්වර්ග අසුන් / අජානේය අසුන් (Heavenly Horses) ලෙස ඔහු නම් කර ඇත.එලෙසම ඔවුන් වී හා තිරිඟු වගා කරමින් උස් තාප්ප වලින් වටවූ නගර සහිත ජීවිතයක් ගත කරන බව ශැන්ග් චියැන් වටහා ගත් අතර මෙම කලාපය තුල එලෙස ඩායුවාන් සංස්කෘතිය අනුගමනය කල මිනිසුන් වාසය කල නගර 70 ක් පමණ දකින්නට ලැබුනු බව ඔහුගේ වාර්තා වල සටහන් කර ඇත.
එපමණක් නොව ඔහු විසින් මෙම කාලය තුල ඩායුවානය අවට කලාපය පිළිබඳ විස්තර එකතු කිරීම සිදු කල අතර ඒ පිළිබඳව ඉදිරි ලිපියේදි අනාවරණය කිරීම සිදු වේ.
මූලාශ්‍ර
1. YouTube. (2020). YouTube. Retrieved October 21, 2023, from https://www.youtube.com/watch?v=Y5KwhAqJSOw&list=PLTWtVUzAvZ3r_NUCKDxGRsP6yraV35g6b.
2. YouTube. (2019). YouTube. Retrieved October 21, 2023, from https://www.youtube.com/watch?v=Fe5GisuuMdk.
3. Savannah Billman , & Billman, S. (n.d.). Founder of the Silk Road? Zhang Qian’s exploration to the West. The World of Chinese. https://www.theworldofchinese.com/2021/08/rediscovering-zhang-qian/